Powered By Blogger

8/26/2010

අපේ කළුගේ දූ පැටික්කී

අද මට ගොඩාක් සතුටු කතාවකුයි ගොඩාක් දුක කතාවකුයි කියන්න තියෙනවා.... ඉස්සෙල්ලාම සතුටු කතාවද දුක හිතෙන කතාවද....... ඉස්සෙල්ලාම සතුටු කතාව කියලා ඉන්නම් නේද...
මේක මට ලියන්න අමතක උනානේ කියලා හිතුනේ අද උදෙම කියවපු "කෙල්ලයි මමයි, මගේ පුංචි කාලේයි….. " කතාව කියවද්දී.

මම කලින් ලිපියක ලියලා තියෙනවානේ අපේ කළු ගැන.මගේ කලින් ලිපිය කියෙව්වානම් දන්නවා ඇතිනේ අපේ කළු මරන්න ගෙනිහින් තියෙද්දී බේරාගෙන ඇවිල්ලා පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර තමයි ඇති දැඩි උනේ කියලා. ඉතින් මෙයාට ටික දවසකට කලින් පුංචි දූ පැටික්කියෙක් ලැබුනා. දුව නම් අම්මා වගේ නෙමෙයි දුඹුරු පාටයි. ඔය උඩ තියෙන පින්තූරේ ඉන්නෙ එයා තමයි.දූ පැටික්කී නම් හරි සිරියාවන්ත පාටයි නේද. මට නම් ආසාවෙ බෑ.ලංකාවට යන්න තව සති දෙකක් තියෙනවා. එතකන් ඉවසිල්ලක් නෑ මෙයාව දැක ගන්න.

මගේ සීයා හොඳ ගොවි මහත්තයෙක් ඉතින් ඔය ගොවිතැන් වැඩ වලට පොහොර ටිකක් ගන්න, වත්ත පිටියෙ කැලෑව ටික අඩු කරගන්න අපේ ගෙදර හැමදාම වගේ වැස්සියෙක් හිටියා. අදටත් අපේ ගෙදර වටේ තණකොළ ටික free of charge ගානට ලෙවෙල් කරලා කපලා දෙන්නෙ කළු තමයි.හික් හික් හික්... මල් ගස් වලට හොම්ඹ ගාන්න බැරි වෙන විදියට ගල් ඉන්න ගහලා ඒකේ කළුව ගැට ගැහුවාම ගල් ඉන්න කේන්ද්‍රයේ ඉඳන් full circle එකම කළු ගානට කපලා දෙනවා.

සීයා නැතිවෙනකොට හිටපු වැස්සි වයසට ගිහිල්ලා මැරුණා.ඉස්සර නම් වැස්සියන්ට පැටව් හදන කාලේ වෙනකොට අපේ සීයා ගෙදර වැස්සිව පට්ටි දාන්න අරගෙන යනවා. ඒ කියන්නේ ගමේ හරක් ඇතිකරන ගෙදරකට ගෙනියනවා. මොකද අපේ ගෙදර පිරිමි සතෙක් නෑනේ.එතන ඉන්න නාඹර හරක් එක්ක ටික දවසක් තියලා වැස්සි ගැබ්බර උනාම තමයි අරගෙන එන්නේ.

හැබයි කළුව නම් එහෙම අරගෙන ගියෙ නැහැ මොකද මෙයාගේ boy friend ඉන්නෙ පිටිපස්සේ වත්තේනේ.
ඉතින් ඔය දෙන්නාගෙ සම්බන්දේ දුර දිග ගිහිල්ල තමයි දු පැටික්කීව හම්බවෙලා තියෙන්නේ.දු පැටික්කී නම් තාත්තා වගේමයි.

දැන් මේ දවස් වල ගෙදර හරිම ජංජාලයක්. මොකද අම්මටයි තත්තාටයි දෙන්නටම පැටියත් එක්ක ඉන්නයිලු උවමනාව. තිරිසන් සත්තු උනත් දරු සෙනෙහස උතුරනවා. ඉතින් අම්මවයි තත්තාවයි කොහේට හරි ගෙනියන්න ඔනේ නම් ඉස්සරවෙලාම පැටියාව ගෙනියන්න ඔනේලු.එතකොට කාන්දම වගේ අම්මයි තාත්තයි පස්සෙන් එනවාලු. නැත්නම් අම්මයි තාත්තයි හොල්ලනවා බොරුලු.
දු පැටික්කිගෙත් හරි හරි සෙල්ලම්ලු, මෙයා දවල් දවසෙම අම්ම ලඟට වෙලා කිරි බිබී ඉඳලා රෑට හොරෙන්ම තත්තා ලඟට යනවාලු. ගැට ගහලා තිබ්බත් ලණුව කඩාගෙන හරි යනවාළු.
ඒකත් ටිකක් භයානකයි,රෑට මේයා තාත්තාව හොයාගෙන යන්න ගිහින් අතරමං වෙලා කවුරු හරි අල්ලාගත්තොත්. මොකද අද කාලේ ඉන්න සමහර මිනිස්සුන්ට හිත් පිත් නෑනේ. කරලා අල්ලගෙන ගිහින් මරන්න උනත් බැරි නෑ. එහෙමත් සිද්ධියක් උනා ඒක තමයි දුක හිතෙන කතාව. ඒක පස්සේ කියන්නම්.

 පුදුම වැඩේ කියන්නේ කළු ගැබ්බර වෙලා කියලා කවුරුත් දැනගෙන ඉඳලා නෑ. සාමාන්‍යයෙන් හරකුන්ටත් මිනිසුන්ට වගේම ගැබ්බර උනාම අමාරුකම් දැනෙනවාලු. කොහොම හරි කළුව අල්ලපු ගෙදර වලකට වැටුනා කියලා මං කිව්වනේ කලින් ලිපියක. එතකොටත් මෙයා දූ පැටික්කිව හම්බවෙන්න තමයි ඉඳලා තියෙන්නේ. දෙයියො බලලා වගේ දෙනාටම  කිසිම කරදරයක් වෙලා නෑ.

වත්තේ වැඩට ආපු මනුස්සයෙක් පැටියා දැකලා අපේ ගෙදරට කියනකම් කවුරුත් දැනගෙන ඉඳලා නැහැ.පැටියා ඉපදිලා නැගිට්ටත් පස්සේ තමයි හැමෝම දැකලා තියෙන්නේ.ඒත් ඒ කළුගෙම පැටියා කියලා හරියටම දැනගෙන තියෙන්නේ එතන වැටිලා තිබිණු වැදෑමහ දැකලා. ඒක දැක්කේ නැත්නම් ඉතින් හිතන්නේ අම්ම මග ඇරිලා අතරමං වෙච්චි පැටියෙක් කියලනේ.
කොහොම හරි ඉස්සර අපේ සීයා කියන්නේ වහු පැටව් දකින්නේ නැතුව ඉපදෙනවා නම් හොඳයි කියලයි. නැත්නම් ඇස්වහ වදිනවාලු. වහු පැටව් ලැබෙන්න අමාරු උනාම අපි කාටවත් බලන්න දෙන්නේ නෑ. සීයා විතරයි මඩුව ඇතුලට යන්නේ. සීයත් මඩුව ඇතුලේ හිටියාට බලන්නේ පැටියා ඉපදුනාට පස්සේලු.  ඊට පස්සේ වහු පැටියාගේ අම්මා පැටියාව ලෙවකාල පිරිසිදු කරලා, පැටියාට කිරි බොන්න සලස්වලා ඌ නැගිට්ටට පස්සේ තමයි අපිට වහු පැටියාව දකින්න සලස්වන්නේ.
ඉස්සර සීය ගම්බාර දෙයියන්ට පඬුරුත් ගැටගහනවා පැටියා ලැබෙන්න වැස්සිට අමාරු දැනීගෙන එනකොට. අනේ ඉතින් ඒ කිසිම දෙයක් කරන්න කළුට පැටියෙක් ලැබෙන්න කියලාඅපි දැනගෙන හිටියේ නෑනේ .......
කොහොම උනත් දෙයියන්ගේ පිහිටෙන් කළුයි දූ පැටික්කියි සනීපෙන් ඉන්නවා. පශු වෛද්‍ය මහත්තයත් ඇවිල්ල දුක සැප බලලා යනවාලු.
ඔන්න ඕක තමයි සතුටු හිතෙන කතාව. දුක හිතෙන කතාව මෙතනම ලියන්න හිත දෙන්නේ නෑ. ඒක වෙනම පොස්ට් එකකින් දාන්නම්. ශුභ සිද්ධියක් අස්සේ මොකට දුක හිතෙන කතා කියනවාද....
මොනවා උනත් කළුටයි දුවටයි තත්තාටයි මැරෙනකම් ඉන්න අපේ ගෙදර හෙවන තියෙනවා කියන එකත් මතක් කරන්නම ඕනේ.