Powered By Blogger

8/26/2010

අපේ කළුගේ දූ පැටික්කී

අද මට ගොඩාක් සතුටු කතාවකුයි ගොඩාක් දුක කතාවකුයි කියන්න තියෙනවා.... ඉස්සෙල්ලාම සතුටු කතාවද දුක හිතෙන කතාවද....... ඉස්සෙල්ලාම සතුටු කතාව කියලා ඉන්නම් නේද...
මේක මට ලියන්න අමතක උනානේ කියලා හිතුනේ අද උදෙම කියවපු "කෙල්ලයි මමයි, මගේ පුංචි කාලේයි….. " කතාව කියවද්දී.

මම කලින් ලිපියක ලියලා තියෙනවානේ අපේ කළු ගැන.මගේ කලින් ලිපිය කියෙව්වානම් දන්නවා ඇතිනේ අපේ කළු මරන්න ගෙනිහින් තියෙද්දී බේරාගෙන ඇවිල්ලා පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර තමයි ඇති දැඩි උනේ කියලා. ඉතින් මෙයාට ටික දවසකට කලින් පුංචි දූ පැටික්කියෙක් ලැබුනා. දුව නම් අම්මා වගේ නෙමෙයි දුඹුරු පාටයි. ඔය උඩ තියෙන පින්තූරේ ඉන්නෙ එයා තමයි.දූ පැටික්කී නම් හරි සිරියාවන්ත පාටයි නේද. මට නම් ආසාවෙ බෑ.ලංකාවට යන්න තව සති දෙකක් තියෙනවා. එතකන් ඉවසිල්ලක් නෑ මෙයාව දැක ගන්න.

මගේ සීයා හොඳ ගොවි මහත්තයෙක් ඉතින් ඔය ගොවිතැන් වැඩ වලට පොහොර ටිකක් ගන්න, වත්ත පිටියෙ කැලෑව ටික අඩු කරගන්න අපේ ගෙදර හැමදාම වගේ වැස්සියෙක් හිටියා. අදටත් අපේ ගෙදර වටේ තණකොළ ටික free of charge ගානට ලෙවෙල් කරලා කපලා දෙන්නෙ කළු තමයි.හික් හික් හික්... මල් ගස් වලට හොම්ඹ ගාන්න බැරි වෙන විදියට ගල් ඉන්න ගහලා ඒකේ කළුව ගැට ගැහුවාම ගල් ඉන්න කේන්ද්‍රයේ ඉඳන් full circle එකම කළු ගානට කපලා දෙනවා.

සීයා නැතිවෙනකොට හිටපු වැස්සි වයසට ගිහිල්ලා මැරුණා.ඉස්සර නම් වැස්සියන්ට පැටව් හදන කාලේ වෙනකොට අපේ සීයා ගෙදර වැස්සිව පට්ටි දාන්න අරගෙන යනවා. ඒ කියන්නේ ගමේ හරක් ඇතිකරන ගෙදරකට ගෙනියනවා. මොකද අපේ ගෙදර පිරිමි සතෙක් නෑනේ.එතන ඉන්න නාඹර හරක් එක්ක ටික දවසක් තියලා වැස්සි ගැබ්බර උනාම තමයි අරගෙන එන්නේ.

හැබයි කළුව නම් එහෙම අරගෙන ගියෙ නැහැ මොකද මෙයාගේ boy friend ඉන්නෙ පිටිපස්සේ වත්තේනේ.
ඉතින් ඔය දෙන්නාගෙ සම්බන්දේ දුර දිග ගිහිල්ල තමයි දු පැටික්කීව හම්බවෙලා තියෙන්නේ.දු පැටික්කී නම් තාත්තා වගේමයි.

දැන් මේ දවස් වල ගෙදර හරිම ජංජාලයක්. මොකද අම්මටයි තත්තාටයි දෙන්නටම පැටියත් එක්ක ඉන්නයිලු උවමනාව. තිරිසන් සත්තු උනත් දරු සෙනෙහස උතුරනවා. ඉතින් අම්මවයි තත්තාවයි කොහේට හරි ගෙනියන්න ඔනේ නම් ඉස්සරවෙලාම පැටියාව ගෙනියන්න ඔනේලු.එතකොට කාන්දම වගේ අම්මයි තාත්තයි පස්සෙන් එනවාලු. නැත්නම් අම්මයි තාත්තයි හොල්ලනවා බොරුලු.
දු පැටික්කිගෙත් හරි හරි සෙල්ලම්ලු, මෙයා දවල් දවසෙම අම්ම ලඟට වෙලා කිරි බිබී ඉඳලා රෑට හොරෙන්ම තත්තා ලඟට යනවාලු. ගැට ගහලා තිබ්බත් ලණුව කඩාගෙන හරි යනවාළු.
ඒකත් ටිකක් භයානකයි,රෑට මේයා තාත්තාව හොයාගෙන යන්න ගිහින් අතරමං වෙලා කවුරු හරි අල්ලාගත්තොත්. මොකද අද කාලේ ඉන්න සමහර මිනිස්සුන්ට හිත් පිත් නෑනේ. කරලා අල්ලගෙන ගිහින් මරන්න උනත් බැරි නෑ. එහෙමත් සිද්ධියක් උනා ඒක තමයි දුක හිතෙන කතාව. ඒක පස්සේ කියන්නම්.

 පුදුම වැඩේ කියන්නේ කළු ගැබ්බර වෙලා කියලා කවුරුත් දැනගෙන ඉඳලා නෑ. සාමාන්‍යයෙන් හරකුන්ටත් මිනිසුන්ට වගේම ගැබ්බර උනාම අමාරුකම් දැනෙනවාලු. කොහොම හරි කළුව අල්ලපු ගෙදර වලකට වැටුනා කියලා මං කිව්වනේ කලින් ලිපියක. එතකොටත් මෙයා දූ පැටික්කිව හම්බවෙන්න තමයි ඉඳලා තියෙන්නේ. දෙයියො බලලා වගේ දෙනාටම  කිසිම කරදරයක් වෙලා නෑ.

වත්තේ වැඩට ආපු මනුස්සයෙක් පැටියා දැකලා අපේ ගෙදරට කියනකම් කවුරුත් දැනගෙන ඉඳලා නැහැ.පැටියා ඉපදිලා නැගිට්ටත් පස්සේ තමයි හැමෝම දැකලා තියෙන්නේ.ඒත් ඒ කළුගෙම පැටියා කියලා හරියටම දැනගෙන තියෙන්නේ එතන වැටිලා තිබිණු වැදෑමහ දැකලා. ඒක දැක්කේ නැත්නම් ඉතින් හිතන්නේ අම්ම මග ඇරිලා අතරමං වෙච්චි පැටියෙක් කියලනේ.
කොහොම හරි ඉස්සර අපේ සීයා කියන්නේ වහු පැටව් දකින්නේ නැතුව ඉපදෙනවා නම් හොඳයි කියලයි. නැත්නම් ඇස්වහ වදිනවාලු. වහු පැටව් ලැබෙන්න අමාරු උනාම අපි කාටවත් බලන්න දෙන්නේ නෑ. සීයා විතරයි මඩුව ඇතුලට යන්නේ. සීයත් මඩුව ඇතුලේ හිටියාට බලන්නේ පැටියා ඉපදුනාට පස්සේලු.  ඊට පස්සේ වහු පැටියාගේ අම්මා පැටියාව ලෙවකාල පිරිසිදු කරලා, පැටියාට කිරි බොන්න සලස්වලා ඌ නැගිට්ටට පස්සේ තමයි අපිට වහු පැටියාව දකින්න සලස්වන්නේ.
ඉස්සර සීය ගම්බාර දෙයියන්ට පඬුරුත් ගැටගහනවා පැටියා ලැබෙන්න වැස්සිට අමාරු දැනීගෙන එනකොට. අනේ ඉතින් ඒ කිසිම දෙයක් කරන්න කළුට පැටියෙක් ලැබෙන්න කියලාඅපි දැනගෙන හිටියේ නෑනේ .......
කොහොම උනත් දෙයියන්ගේ පිහිටෙන් කළුයි දූ පැටික්කියි සනීපෙන් ඉන්නවා. පශු වෛද්‍ය මහත්තයත් ඇවිල්ල දුක සැප බලලා යනවාලු.
ඔන්න ඕක තමයි සතුටු හිතෙන කතාව. දුක හිතෙන කතාව මෙතනම ලියන්න හිත දෙන්නේ නෑ. ඒක වෙනම පොස්ට් එකකින් දාන්නම්. ශුභ සිද්ධියක් අස්සේ මොකට දුක හිතෙන කතා කියනවාද....
මොනවා උනත් කළුටයි දුවටයි තත්තාටයි මැරෙනකම් ඉන්න අපේ ගෙදර හෙවන තියෙනවා කියන එකත් මතක් කරන්නම ඕනේ.

8/19/2010

ජීවිතය දිනන්නට; පුංචි සිහිනයක්, පුංචි සිතිවිල්ලක්, පුංචි උත්සාහයක් සහ හයිය හිතක්

අපි ජීවිතයේ ජයග්රහණ ලබන්නේ පරාජයන් තුලින් හරියට නිකම් වැටි වැටි නැගිටිනවා වගේ. පුන්චි දරුවෙක් එකපාරටම නැගිටල ඇවිදින්න පටන් ගන්නේ නෑ. ඉස්සරවෙලාම පෙරළිළා, දණගාලා, අල්ලගෙන නැගිටලා පියවරෙන් පියවර තමයි ඇවිදින්න පටන් ගන්නේ. එහෙම කරන්නෙත් කොච්චර අමාරුවෙන්ද වරද්ද වරද්ද නැත්නම් අනික් අයගේ උදව් ලබාගෙන...
නමුත් අපි ලොකු වෙනකොට අපිට ජීවිතයේ වෙන වැරදීම් දරාගන්න සමහර වෙලාවට අපහසු වෙනවා. අපේ හිත්වල ඇතිවෙන හීන මානය විසින් අපිව මානසිකව වට්ටනවා. අපිට අමතකයි අපි පොඩි දවස් වලත් මේ වගේමයි වැටි වැටි නේද නැගිට්ටෙ කියලා. ඒ වගේම තමයි වටාපිටාවේ ඉන්න අයත් එකතු වෙලා කියන දේවල් වලින් අපේ හිත් තවත් වට්ටනවා.
සමහර වෙලාවට ජීවිතය දිනපු කෙනෙක් දිහා සමාජය බලන්නෙ එක පත්තකින් විතරයි................
“එයා දිනුවෙ එයාගෙ වෙලාව හොඳයිනෙ”,
“අපෝ ඕක මොකක්ද අපිටත් කරන්න තිබ්බනේ”
” කවුද දන්නේ තව යටින් මොන මොන දේවල් කලාද කියලා”
................................ඔන්න ඔහොම දෙපැත්ත කැපෙන විදියට අපි සමහරු කතා කරන්නේ.
ඒ වගේම තමයි අපි මොනවා හරි කරන්න ගියාම;
"ඔයාට පුලුවන්ද ඕක කරන්න?"
"අනේ මන්දා ඔතන පටන් ගත්ත කිසි දෙයක් අද වෙනකම් හරි ගියේ නෑ"
“ඔය මිනිහා හැමදාම කරපු දේවල් වැරදුනා, ඔය මිනිහට පල දෙන්නේ නැද්ද කොහෙද"
................ ඔන්න ඔය වගේ නොකෙරෙන පැත්තට කී දෙනෙක් කතාකරනවද, හතර වටේ ඉන්න අයට තමයි ඔක්කොම ප්රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අපිවම තමයි හෙම්බත් වෙන්නේ
මේ හදිස්සියේම මැණික්ට මෙහෙම දෙයක් ලියන්න හිතුනේ, එයාටත් තියෙනවා පුන්චි සිහිනයක් සැබෑකරගන්න. සිහිනයක් කිව්වට ඒක ව්යාපාර සිහිනයක්... ඒකටත් ඉතින් ඔය වගේ කතන්දර ගොඩක් නම් එක එක්කෙනා කියනවා..... බලමුකෝ ඒ කොහොම උණත් හිතේ ධෛර්යය ඒ හැම එකකටම වඩා වැඩියි. අනික මැණික් ගේ මහත්තයයි, තාත්තයි නම් හැමවෙලාවෙම මැණික්ව දිරිගන්නනවා.
කිසිම දෙයක් පටන් ගන්න නම් ලේසි නෑ අමාරුයි. පටන් ගත්තත් පවත්වාගෙන යන එක ඊටත් වඩා අමාරුයි.ඒත් හිතේ හයිය තියෙනවා.
ගොඩක් වෙලාවට මේ වගේ දෙයකදි අපේ මතකයට එන්නේ රිච්ඩ් බ්රැන්සන්,ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ පිටරට මිනිස්සු. ඒකේ වැරද්දක් නම් නැහැ. ඔවුන් හැමෝම අවිවාදයෙන්ම සාර්ථක ව්යාපාරිකයන්. තෝරු මෝරු අතරේ හාල් මැස්සො පේන්නෙ නැතුව යනවා වගේ ඒ අතරේ අපේ ලංකාවෙ සාර්ථක වෙච්චි මිනිස්සු ගන අපි කතා කරනවා අඩුයි කියලා හිතුනා.
ඔය වගේ පුන්චි හීන සබෑ කර ගත්ත කීපදෙනෙක්ව ඔය අතරෙදි මැණික්ට මතක් උනා.අපිට අමතක වෙච්ච අපි කතා නොකරන මේ චරිත ගැන පොඩි සටහනක් තියන්න ඔනේ කියලා හිතුනා.

අහලා තියෙනවද අඟුණුගහ ගමගේ හින්නි අප්පුහාමි ගැන.....
හිනා වෙන්න නෙමෙයි ඇත්තටමයි අහන්නේ.... යන්තම් හරි කන වැටිලා තියෙනවද.... ටිකක් නුහුරුයි වගේ නේද...කමක් නෑ....
මැලිබන් නම අහලා තියෙනවාද...නම කියන කොට රහත් මතක් වෙනවා ඇති සමහර අයට නම්.
දැනට අවුරුදු 75-80කට විතර උඩදි තේ කඩයකින් පටන් අරන් අර රත්මලානේ තියෙන මහා ෆැක්ටරිය හදලා ලන්කාවට මුලින්ම ලංකාවෙ බිස්කට් කන්න පුරුදු කලේ හින්නි අප්පුහාමි මහත්තයා.
ගාල්ලේ අක්මීමනින් ආපු හින්නි අප්පුහාමි මහත්තයා කොළඹ කොටුවෙ පළවෙනි හරස්වීදියේ පුන්චි තේ කඩයකින් තමයි පළමු පියවර තියලා තියෙන්නේ. කොහොමහරි පිටරටින් මැශින් ගෙන්නලා ඔය රත්මලානේ මැලිබන් ෆැක්ටරිය දාලා තියෙන්නේ 1963දිලු.ඒ වෙනකම් පොඩියට තමයි ව්යාපාරේ පවත්වාගෙන ගිහින් තියෙන්නේ. මම අහලා තියෙන විදියට බිස්කට් කියන්නේ ඒ කාලේ “luxury good” එකක්. රට බිස්කට් විතරක් ලංකාවෙ තිබිච්චි යුගයක,ලංකාවෙ බාගයක් විතර මිනිස්සු බිස්කට් කියන්නේ මොනවාද කියලා හරියට දැනගෙන තිබ්බෙ නැති යුගයක බිස්කට් ෆැක්ටරියක් දාන්න හින්නි අප්පුහාමිට කොයිතරම් නම් හිතේ හයියක් තියෙන්න ඇතිද? ඒකාලේ හින්නි අප්පුහාමිට නම් අපිට වගේ ව්යාපාර පරිපාලනය කියලා දෙන්න මයිකල් පොර්ටර් ලා, ඇන්සොෆ් ලා, මෙන්ඩලොව් ලා එකී මෙකී නොයෙක් අය නම් හිටියේ නැතුව ඇති. ....

එතකොට වික්ටර් හෙට්ටිගොඩ මහත්තයා ගැන අහලා තියෙනවාද? හෙට්ටිගොඩ සමූහ ව්යාපාරය ආරම්භ කලේ එතුමා තමයි. වෙන කවුරුත් නෙමෙයි අපේ සිද්ධාලේප වෙද මහත්තයා තමයි ඒ. 1937 මාතර කනංකේදී උපත ලැබු මෙතුමා කාලයක් රාජ්ය සේවයේ නියුතු වෙලා ඉඳලා ඒකෙන් අස් වෙලා තමන්ට පාරම්පරිකව ලැබුණු වට්ටෝරුවක් මාර්ගයෙන් බොහොම දුක් මහන්සියෙන් තමයි මේ තරමට දියුණු වෙලා තියෙන්නේ. මම අහලා තියෙන විදියට ඔය සිද්ධාලේප බාම් කුප්පියකට මුල් කාලයේ සත5ක විතර ලාබයක් තියාගෙන තමයි විකුණලා තියෙන්නේ. බොහොම මුදල් අමාරුකම් මැද්දේ ආරම්භකරපු මේ ව්යාපාරය ප්රචලිත කරන්න හෙට්ටිගොඩ මහත්තයා ගමක් ගමක් ගානේ ගියා කියලා තමයි කියන්නේ. හෙට්ටිගොඩ මහත්තයාට කොයිතරම් නම් ධෛර්යයක් තියෙන්න ඕනේද ඔය ගමන අතරමැද නතර නොකර අද තියෙන තත්වයට නංවන්න. අපි නම් කරයිද. හිත ඇත්නම් පත කුඩාද....

එච්. කේ. ධර්මදාස මහත්තයා ගැන අහලා තියෙනවාද, නවලෝක මුදලාලි කිව්වොත් නම් කවුරුත් දන්නවා ඇති. යන්තම් පහේ පන්තිය පාස් වෙලා හිටපු කළු මහත්තයා (නවලෝක මුදලාලිට ගමේ කට්ටිය කතා කරන්නේ ඒ නමින්ලු )තම පියාගේ මරණයෙන් පස්සේ ඇදුම් කැඩුම් ටිකක් අරගෙන කොළඹට එනකොට සන්ත්කේටම තිබිලා තියෙන්නේ රුපියලයි. ඒත් අද.....

ඒ වගේම උපාලි විජේවර්ධන මහත්මයාත් අකාලයේ සමුගත්ත අපේ රටට අහිමි වෙච්චි, සෑහෙන දුර ගමනක් යන්න තිබිච්චි ව්යාපාරිකයෙක්. රටේ අවාසනාවට වෙන්න ඇති එතුමා ජීවිතයෙන් සමු ගන්න ඇත්තේ.එතුමා ජීවත්ව හිටියා නම් අපේ රටේ කාර් එකක් හදන්නේ මීට ගොඩාක් කලින්. යුනික් රේඩියෝ හැදිල්ලත් එතනම නැවතුනා.අදටත් උපාලි සමූහ ව්යාපාරය තියෙනවා නමුත් එතුමා හිටියා නම් එම ව්යාපාරය මීට වඩා ලොකු පෙරලියක් රටේ ඇති කරාවි කියලයි මට නම් හිතෙන්නේ.
අපේ රටේ ආර්ථිකය විවෘත කරපු ගමන් එතුමා පටන් අරගත්තු දේවල් ඒ විදියට දියුණු කරගෙන ආවානම් අපේ රටත් අද සෑහෙන ඉස්සරහයින් ඉන්න තිබුනා කියලා මැණික්ට හිතෙනවා.

එතකොට රවි ලියනගේ මහත්තයාව අඳුනන්නේ කවුද.... නම කිව්වට නිච්චියක් නෑ නේද... හැබයි රයිගම් කියන නම නම් අහලා ඇති නේද....එදා පුන්චියට සෝයා නිපදවන්න පටන් අරගත්තු ව්යාපාරය අද ලන්කාවෙ ප්රධාන පාරිභොගික භාණ්ඩයක්.

කොළඹ ඩික්මන් පාරේ පුන්චි ඇදුම් කඩයකින් පටන් අරන් පහුගිය සතියක කොළඹ කොටස් වෙළඳ පොළට ඇතුලත් කරපු ඔඩෙල් ආයතනය අරඹපු ඔටාරා ගුණවර්ධන මහත්මිය, මයික්රො කාර් සමාගම අරඹපු ලෝරන්ස් පෙරේරා මහත්තයා,ඒ වගේම හැරි ජයවර්ධන, කෙන් බාලෙන්ද්ර, අශෝක් පතිරගේ, වැනි ව්යාපරිකයින් පුන්චි සිහින සැබෑවන් කරපු වීරයො කියලයි මට හිතෙන්නේ.

ඔය ඉහළින් ලියලා තියෙන්නේ මේ වෙලාවේ හැටියට මගේ මතකයට ආපු සාර්ථක ව්යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් විතරයි. ඔවුන්ගේ ජීවිත වලින් අරගන්න කොයිතරම් නම් දේවල් ඇතිද, ඒත් ඒගැන කතා කෙරෙන අවස්ථා නම් බොහොම අඩුයි.

මේක ලියන අතරේ උසස් පෙළ ලියන කාලේ අපේ රසායන විද්යා ගුරුතුමා, බුළත්සින්හල සර් කියපු කතාවක් මතක් උනා.ඒ දවස් වල යුද්දේ පැවතිච්ච කාලේ, එතුමා කිව්වා උතුරේ ඉන්න ළමයි හරියට අධ්යාපනයක්වත් නැතුව ඩයිනමයිට් ටිකක්, වීදුරු කෑළි යකඩ ඇණ ටිකක් අරගෙන බොම්බ හදනකොට උ.පෙළට අවුරුදු දෙකක් රසායන විද්යාව කරපු කොළඹ ළමයින්ට අඩු ගානේ පත්තු කරන්න ගිනිකූරක්වත් හදා ගන්න බෑ කියලා.

අද කොච්චර නම් තරුණ උපාධිදාරී ළමයි රස්සාවල් ඉල්ල ඉල්ලා පාරවල් වල කෑ ගගහා උද්ඝෝශණ කරනවාද. අවුරුදු දහ තුනක් ඉස්කෝලෙ ගිහිල්ලා සා. පෙළ, උ. පෙළ පාස් වෙලා, ඉස්කෝලේ යන දහස් ගානක් ළමයි අතරෙන් පෙරිලා වගේ කොටසක් තමයි කැම්පස් එකට යන්නේ. ඊට පස්සේ ඒක ඉවර වෙලා රස්සාවල් හොයනවා, හොයාගන්න පුලුවන් එක්කෙනා යනවා අනික් අය කාලෙන් කාලේට උද්ඝෝශණ.
අපේ අධ්යපන ක්රමයේත් වැරදි නැතුවම නොවෙයි, මොකද ගිරා පැටව් ටිකක්නේ එලියට එන්නේ, ඉතින් අලුත් සිතිවිලි ඇති වෙන්නේ කොහොමද.

මැණික්ට හිතෙන විදියට නම් පුන්චි හරි අදහසක් හරියට ක්රියාත්මක කලොත් ඔය රැකියා ප්රශ්නෙත් විසඳන්න පුලුවන් කියලයි. නිකමට හිතලා බලන්න පහේ පන්තිය පාස් වෙලා කොළඹට ඇවිල්ලා ව්යාපාරයක් දාපු නවලෝක මුදලාලි නිසා ඔය උපාධිලාභියො කී දෙනෙක් ජීවිතය ගටගහගන්නවාද කියලා....
ජීවිතය දිනන්න නම් කරන්න දේවල් කොයිතරම් නම් තියෙනවාද, අවශ්ය වෙන්නේ පුන්චි සිතිවිල්ලක්, පුන්චි උත්සාහයක් සහ හොඳ හයිය හිතක් විතරයි.

8/10/2010

සිතන්නට යමක්.......

ඔබ නිතිපතා බලන පුවත්පතක ඔබේ නම සඳහන්වී තිබුනොත් ඔබට හිතෙන්නේ මොනවාද.......
ඔබ නිතිපතා බලන පුවත්පතේ මරණ දැන්වීම් අතර ඔබේ නම දුටුවොත්.........මියගිය අය අතර ඔබේ නම සඳහන්ව තිබුනොත්...... ඔබේ හැඳින්වීම කොයි විදියට තිබුනොත්ද කැමති..... ඔබගේ නමට යටින් "මරණයේ වෙලෙන්දා මිය යයි" යනුවෙන් හැඳින්වීමක් තිබුනොත්.....
ඇත්තටම අදට අවුරුදු 115කට විතර පෙර පුද්ගලයෙක් උදෑසන පුවත්පත පෙරළා, මරණ දැන්වීම් පිටුවේ තමන්ගේ නමට ඔය විදියේ හැඳින්වීමක් දුටුවා.
ඔහු මේ දැන්වීම දැකලා ඉතාමත් පුදුමයට ඒවාගේම කම්පනයට පත් උනා, ඔහු නැවත නැවතත් කියෙව්වා, නමුත් සඳහන්ව තිබුනේ එකම දෙයක්. තවත් පහලට කියවාගෙන යනවිට "මිනිසුන් විශාල වශයෙන් පහසුවෙන් ඝාතනය කරන ආකාරය ලොවට හඳුන්වාදීමෙන් ලෝක කීර්තියට පත්වූ, ධනවත්වු මහා ව්‍යාපාරිකයා ඊයේ දින අභාවපාප්ත විය" යනුවෙන් තවත් හැදින්වීමක්.
"දෙවියනේ මම, මැරිලාද පණ පිටින්ද....." සිහි එලවා ගත් ඔහු දිගටම එම දැන්වීම කියවූවා. 

මේ දැන්වීම එක්තරා ප්‍රංශ පුවත්පතක වැරදීමකින් පළවූවක්. මේ හැදින්වීම තිබුනේ සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයා ගැන. ඔහුගේ සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් පටලවාගෙන එම පුවත්පත මේ ආකාරයෙන් සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයා ගැන මරණ දැන්වීමක් පළ කරලා තිබුනේ.

"මම ගැන මිනිස්සු හිතන්නේ මේ විදියටද...., මරණයේ වෙලෙන්දා".... මේ වගේ සිතිවිලි ඔහුගේ හිත පුරා හොල්මන් කරන්න පටන් ගත්තා...  මේ සිද්ධිය ඔහුව කැළඹෙව්වා, මිනිසුන් ඔහුව මේ ආකාරයට හඳුන්වනවාට ඔහු කැමති උනේ නෑ....

මේ විදියට තමයි නොබෙල් සාම ත්‍යාගය ආරම්භ උනේ.ඔහු පැරීසියේදී ඔහුගේ අන්තිම කැමති පත්‍රය මගින් ඔහු මිනිසුන් සමූල ඝාතනය කරන්න නිපදවපු ඩයිනමයිට් වලින් ලබාපු ආදායම නොබෙල් සාම පදනමට ලබාදුන්නා. ඊළඟ අවුරුද්දේ ඔහු මිය යනකොට ඔහු ඔහුගේ ප්‍රතිරූපය වෙනස් කරගත්තා.අවසාන මොහොතේදී වුවත් ඔහු තමාගේ හැඟීම්,සිතිවිලි හරි පැත්තට යොමු කලා.

අපි අපේ ජීවිත ගත කරන්නේ කොහොමද......අපේ සිතිවිලි..... අපේ ක්‍රියාවන්....
අපි මියගියාට පසු....... තවත් එක් මියගිය මිනිහෙක් වෙයිද....
කවුරුන්හෝ අපිව ආදරයෙන් ගෞරවයෙන් මතක් කරයිද......
අපේ මරණයෙන් පස්සේ අපේ රටට ලෝකයට උරුම කරන්නේ මොනවාද.....

සිතන්නට යමක්.......

(ප.ලි.
ටිකක් කල්පනා කරන කොට හිතුනා එදා නොබෙල් මහත්මයා අදහස් කරපුදේ ඒ ආකාරයෙන්ම සිද්ධවෙනවාද කියලා. මොකද මහත්මා ගාන්ධිතුමා නාම නිර්දේශවල ඇතුලත් වෙලා සාම තෑග්ග නොලැබෙද්දි ඔබාමාට නිකම්ම නොබෙල් තෑගි ලැබුනා.... මේ වගේ කලු පැල්ලම් කීපයකුත් නොබෙල් සාම ඉතිහාසයේ තියෙනවා..)


 

7/21/2010

මාපිය කටයුතු සහ අවිහින්සාවාදය

අද කතාවෙ topic එක බලනකොටම නිකම් හරි බැරෑරුම් දෙයක් කියනවා වගේ හිතේවි. මේක මට කාලෙකට කලින් හම්බවෙච්ච ලිපියක තිබුන දෙයක්. අද කාලයේ හැටියට දෙමව්පියන්ට වගේම දෙමව්පියන් වෙන්න ඉන්න අයට ගොඩක් වැදගත් වේවි.

මම ලියන කතාව සිද්ධ වෙලා තියෙන්නෙ Dr.අරුන් ගන්ධි මහත්මයාට. මෙතුමා මහත්මා ගාන්ධි තුමාගෙ මුනුබුරෙක්. ඒ කියන්නේ මහත්මා ගාන්ධි තුමාගෙ දෙවෙනි පුතා වෙන මනිලාල් ගාන්ධි මහත්මයාගෙ පුතා.මනිලාල් ගාන්ධි මහත්මයාත් තමාගෙ තත්තාගෙ අඩි පාරෙ යමින් එතුමාගේ අවිහින්සාවාදය අගයපු මහත්මයෙක්.

මේ කතාව දෙස්තර අරුන් ගාන්ධි මහත්මයා පවසලා තියෙන්නේ University of Puerto Rico හිදි අවිහින්සාවාදි මාපිය කටයුතු සිදු කරන හැටි ගැන කරපු දේශනයකදි.
ඔන්න ඔහොමයි කතාවට පිවිසුම,

ඔය පහල පින්තූරයෙ ඉන්නෙ ගාන්ධි තුමා සහ එතුමාගෙ මුණුබුරා වන දොස්තර අරුන් ගාන්ධි මහත්මයා.

"ඒ වෙනකොට මට අවුරුදු 16,මම මගේ දෙමව්පියන් එක්ක ජීවත් උනේ. අපි පදින්චි වෙලා හිටියේ අපේ සීයා ගොඩනගපු ආයතනයක,ද. අප්‍රිකාවෙ ඩර්බන් නගරයට කි.මි.18 විතර ඈතට වෙන්න. අපිට අසල්වැසියො හිටියෙ නෑ, මොකද ඒක ජනාවාස වඩිපුර නැති ගම්මාන පැත්තක්.මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් අපේ යහලුවන් හමුවීමට, චිත්‍රපටියක් බැලීමට වගේ දේවල් වලට ඔය කි.මි.18 ගෙවාගෙන නගරයට යන්න තමයි පුරුදු වෙලා හිටියේ.

දවසක් උදේ තාත්තාට උවමනා උනා නගරයට යන්න, කාර් එකේ මොකද ඔහුට නගරයේ දවසක සම්මන්ත්‍රණයක් තිබ්බා. මමත් එක පයින්ම කැමති උනා ගමනට. නගරයට කාර් එකේ යන්න ලැබෙනවා කියන්නේ කොයිතරම් දෙයක්ද. මම නගරයට යන නිසාත් මුලු දවසම මම නගරයේ ගෙවන නිසාත් අම්මාගේ කලමණා ගේන්න ලයිස්තුවකුයි, තව නගරයෙන් කරගෙන එන්න කල්දම දමා තිබ්බ වැඩ වගයකුයි පැවරුනා.

මම තාත්තාව සම්මන්ත්‍රණයෙන් බැස්සුවාම තත්තාව අරගන්න සවස 5.00ට එන්න කිව්වා. මම ඉකමන් කරලා පවරපු වැඩ ටික ඉවර කලේ හවස චිත්‍රපටියක් බලන ආසාවෙන්. කොහොමහරි එදා වාහනය service කරන්නත් තිබ්බා. මම මගේ වැඩ ටික ඉවර කරලා වාහනය service එකට දාලා ඉක්මනට චිත්‍රපටිය බලන්න ගියා. එතකොට ටිකක් දවල් වෙලා.
ඒක John Wayneගෙ ලස්සන චිත්‍රපටියක්, මට කාලය යනවා දනුනේ නෑ. කොහොම හරි වෙලාව ගිහිල්ලා සවස 5.30ත් වෙලා. තාත්තාව ගන්න කිව්වෙ සවස 5.00ට. ඉතින් මම ඉක්මන් කරලා චිත්‍රපටි ශාලාවෙන් පිටවෙලා කාර් එකත් අරගෙන තත්තාව ගන්න යනකොට සවස 6.00ත් පහුවෙලා. 
මම යනකොට තාත්තා මම එනකම් මග බලාගෙන ඉන්නව, මට බනීවි කියලා හිතුවත් තාත්ත බොහොම කනස්සලුසහගතව මම පරක්කු වෙන්න හේතුව ඇහුවා. මම කොහොමද John Wayneගෙ  බටහිර චිත්‍රපටියක් බලන්න ගිහින් පරක්කු උනා කියන්නේ, මට ලැජ්ජා හිතුන නිසා මම කිව්ව
"වාහනය හෝදලා තිබ්බෙ නැති නිසා ඉවරකරගෙන එන්න පරක්කු උනා."  

ඔහුට මම කියපු බොරුව අතටම අහු වුනා, මොකද මම දැනගෙන හිටියෙ නෑ ඒ වෙනකොට තාත්තා service station එකට කතා කරලා කියලා. මම කරපු දෙය නිසා ඔහු බොහොම කනස්සලු උනා.



"මම ඔබව උස්මහත් කරපු විදියේ කොතැනක හරි ලොකු වැරැද්දක් වෙලා තියෙනවා, ඇයි ඔබට මට ඇත්ත කියන්න තරම් මා ගැන විශ්වාසයක් නැති උනේ. මට මේ ගැන කල්පනා කරන්න ඕනේ. ඔබ වාහනයත් අරගෙන ගෙදර යන්න. මට තනියම මේ ගැන කල්පනා කරන්න ඔනේ. මම පයින් ගෙදර එන්නම්"
ඔහු තනියම පයින් ගෙදර යෑම ඇරඹුවා. තත්තාට ගෙදර එන්න කි.මි.18ක් පයින් එන්න ඔනේ. මම කියපු බොරුව නිසා තත්තා අඳුරු, අබලන් වෙච්ච, අඩුම තරමේ වීදි පහනක් වත් නැති මාර්ගයේ තනියම ඇවිදිනවා. ඒ වෙනකොට කරුවලත් වැටිලා තත්තාට තනියම යන්න දෙන්නත් බැහැ. ඉතින් මම තත්තා ඇවිදින වෙගයෙන් ඔහුට පිටුපසින් වාහනය පදවාගෙන ගියා. ඔය විදියට පැය 5ක් විතර ඔහුගෙ පිටුපසින් ගෙදරට යනකම් මමත් ගියා.
මම කියපු මෝඩ බොරුව නිසා තත්තා මහත් සන්ත්‍රාපයකට පත් වෙලා මෙච්චර පීඩාවක් විඳීම ගැන මටම මා ගැනම ලැජ්ජයි, ආයෙමත් දිවි තියෙන තුරාවටම මේ වගේ බොරු නොකියන්න මම මටම පොරොන්දු උනා.
 
මේ සිද්ධිය මාව සසල කලා, ජීවිතයේ නොයෙක් අවස්ථා වලදී මගේ මතකයේ මේ සිද්ධිය හොල්මන් කලා. අපි අපේ දරුවන් වැරද්දක් කලාම ඔව්න්ට දඩුවම් කරනවා. නමුත් මගේ පියා එහෙම කලේ නෑ. ඔහු එහෙම කලා නම් මට මේ සිද්ධිය මෙතරම් හිතට කාවදින්නේ නෑ. එහෙම උනා නම් මම මගේ ජීවිතය පුරාවටම මේ වැරැද්ද කරයි මොකද දඬුවම ඉවර වුනාම ඒක හිතෙන් ඉබේටම අමතක වෙනවා. ඒත් මේ සිද්ධිය මට ඊයෙ උනා වගේ මතකයි. මේකයි අවිහින්සාවාදියේ ආශ්චර්යය."
 
ඇත්තටම තලල පෙලලා දරුවො හැදීමයි අවිහින්සාවාදයෙන් දරුවන් ලොකු මහත් කිරීමයි අතරේ ලොකු වෙනසක් ඇතිවෙන බව මේ කතාව කියෙව්වහම මට හිතුනා. පුන්චි කතාවක, සිද්ධියක හිතන්න, තේරුම්ගන්න කොච්චර නම් දෙවල් තියෙනවද........

7/13/2010

හාවයි ඉබ්බයි (new version)

හාවයි ඉබ්බයි රේස් තියලා හාවට නින්ද ගිහිල්ල, ඉබ්බා හාවව පරාද කරපු කතාව අපි හැමෝම එපා එනකම් අහපු, පතුරු යනකම් කියපු කියලා දීපු කතාවක්නේ.....
මේ කතාවෙ ඉබ්බගෙ චරිතයෙන් දෙන උපදේශය කලබල නොවී තමන්ට පැවරුන රාජකාරිය නොසැලෙන අධිශ්ඨානයෙන් කලාම දිනන්න පුලුවන් කියලානේ.අපි ගොඩක් දෙනා අහපු කතාව ඉබ්බ දිනුවට පස්සෙ ඉවර වෙනවනේ, ඒ උනාට කතාව ඉවර නෑ තව episode තියෙනවා.

ඔන්න ඉතිරි episode අහලා නැති අයට තමයි මේ කතාව.

ඔන්න රේස් එක පැරදුන හාවා තේරුම් ගත්තා එයාගෙ තිබිච්ච දුර්වලකම්. කොටින්ම කියනවා නම් උවමනාවට වඩා තමන්ගේ හැකියාවන් ගැන විශ්වාසය තියලා,කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව ඉඳලා තමන්ගේ නොසලකිලිමත්කම නිසානේ රේස් එක පරාද උනේ. ඔය වගේ
over confident වෙලා ඇන ගත්ත අවස්තාවන් කාට කාටත් ඔනේ තරම් ඇතිනේ, ප්‍රසිද්ධියේ නොකීවට.
කිව්වට මොකද... තමන් ඉබ්බව සුළුවෙන් හිතපු එක ගැන හාවට හරියට ලැජ්ජයි, ඇයි ඉතින් මනුස්සයෙකුට මූණ දෙන්නෙ කොහොමද? මනුස්සයෙකුට නම් මොකද තව හාවෙක්ට මූණ දෙන්නෙ කොහොමද?
ඉතින් හාවා ගිහිල්ලා අයෙමත් පාරක් ඉබ්බට චැලෙන්ජ් කලා රේස් එකකට එන්න කියලා. ඉබ්බත් කැමති උනා.ඔන්න මේ පාර හාවා පස්ස බලන්නේ නැතුව හයියෙන්ම දුවලා හැතැක්ම ගානක් ලීඩ් එක තියල තරඟෙ දින්නා.

ඔන්න මේ කතාවෙන් හැමෝම තේරුම් ගත්තා කලබල නොවී තමන්ට පැවරුන රාජකාරිය නොසැලෙන අධිශ්ඨානයෙන් කලාටම දිනන්න බෑ, හැම වෙලාවෙම වේගයට පරාද වෙන්න chance එකක් තියෙනවා කියලා.

හැබැයි කතාව තවම ඉවර නෑ.... තව episode එකක් තියෙනවා,

ඉබ්බත් එහෙම ලේසියෙන් අත අරින කෙනෙක් නෙමෙයි, ඉතින් මෙයා පොඩ්ඩක් කල්පනා කරලා හාවාට තව රේස් එකකට invite කලා. ඕවත් මොන කජු කන වැඩද කියලා හාවත් challenge එක accept කලා. හැබැයි මේ පාර ඉබ්බා ටිකක් කට්ට වැඩක් තමයි කලේ, පරණ  route එක නැතුව අලුත් route එකක තමයි තරඟය පවත්වන්න හාවව එකඟ කර ගත්තෙ. ඔන්න තරඟෙ පටන් ගත්තා හාවා ඉතින් සුපුරුදු පරිදි පණ කඩාගෙන දිව්වා. හැබයි තරඟෙ දිනුම් කණුවට යන්න නම් ගඟකින් එගොඩ වෙන්න ඔනේ. හාවො ඉතින් පීනන්න දන්න එකක්යැ.ඉබ්බා එයාගෙ සුපුරුදු වේගයෙන්ම අවිල්ල පීනාගෙන එගොඩ වෙලා තරඟෙ දින්නා.

ඔන්න ඒපාර කට්ටියම; අපෝ වේගය විතරක් තිබිලා මොකටද හැකියාව,නිපුණතාව(core competence) නැතුව කියලා කියන්න ගත්තා.කොච්චර කොහොම උනත් ඉබ්බට තරඟය දිනන්න පුලුවන් උනේ ඉබ්බට දුවන්නයි පීනන්නයි දෙකම පුලුවන් නිසානේ. හාවට පුලුවන් ඉයෙන් දුවන්න විතරයිනේ.

හැබයි කතාව තවම ඉවර උනේ නෑ, last episode එක තියෙනවා.....

දැන් මේ වෙනකොට මේ තරඟ නිසාම ඉබ්බයි හාවයි හොඳට අඳුරනවා, යාලුකමකුත් අති වෙලා දෙන්න අතරේ. මොනවා උනත් අන්තිම තරඟෙ පැරදුන නිසා හාවට ටිකක් දුකයි. ඉබ්බටත් ඉතින් මේ දුක නොදැනුනාම නෙමෙයි.කොහොම හරි දවසක් මේ දෙන්නා අන්තිම තරඟෙ ගැන පොඩි discission එකක් කරා. අර cricket මැච් එහෙම ඉවර උනාට පස්සේ අරය දින්නෙ කොහොමද මේයා පැරදුනේ ඇයි කියලා discussions තියන්නේ, ඒවගේ එකක්. මේකෙන් පස්සෙ දෙන්නටම තෙරුනා අපිට මේ තරඟෙ මීට වඩා හොඳට කරන්න තිබ්බා, මීට වඩා හොඳට දුවන්න තිබ්බා කියලා.
ඉතින් අයෙමත් අපි මේ තරඟෙ මීට වඩා හොඳට තියමු කියලා ආයෙමත් පරණ route එකේම තරඟෙ organise කලා.

මේක හැබයි කලින් තරඟ වලට වඩා වෙනස් විදියට දෙන්නගෙම සහයෝගයෙන් තම්යි තිබ්බේ. ඔන්න තරඟෙ ආරම්භ උනාම මුලින්ම හාවා ඉබ්බාව උස්සගෙන හයියෙන් දිවා. ගඟ ළඟට අවිල්ලා ඉබ්බා හාවව කරේ තියාගෙන එගොඩට පීනුවා. ආයෙමත් හාවා ඉබ්බාව උස්සගෙන දිනුම් කණුවට දිව්වා. දෙන්නම තරඟෙ දිනුම්. දෙන්නටම සතුටුයි.

මේ සිද්ධියෙන් පස්සෙ සමජයේ හැමෝම තේරුම් ගත්තා තමන්ට පුද්ගලිකව කොච්චර තියෙන හැකියාවන් එකතුකරලා සහයොගයෙන් වැඩ කලොත් වඩාත් සාර්ථක වෙන්න පුලුවන්. මොකද අපි හැමෝටම පුලුවන් දේවල් වගේම බැරි දේවල් තියෙනවා. ඒ වගේම තමයි එක්කෙනෙකු දුර්වල දෙයක් තව කෙනෙක් වඩාත් පහසුවෙන් කරන අවස්ථා තියෙනවා.

ඔන්න ඔහොමයි හාවගෙයි ඉබ්බගෙයි කතාව ඉවර උනේ..

මීට පස්සේ කාට හරි හාවගෙයි ඉබ්බගෙයි කතාව කියලා දෙනකොට ඔක්කොම episode ටික කියල දෙන්න අමතක කරන්න එපා.
මොකද මේ කතාව අද සමාජයට ගොඩාක් වැදගත්. මොකද අද හැමෝම හදන්නෙ තමුන් ලොක්ක වෙන්න. අනිත් අය මොනවා කිව්වත් සහයොගයෙන් වැඩ කිරීමක් නෑ. මොකද එතකොට ලකුණු දාගන්න බෑනෙ. සහයෝගයෙන් වැඩ කලාම ලකුණු ලැබෙන්නෙ බෙදිලානේ. අනික තමයි ජීවිතයේ අපි හැම වෙලාවෙම අනිකාව පරාජය කරන්න නෙමෙයි ජීවිත්යේ අවස්තාවට අනුව කල යුතු දෙය සහයෝගයෙන් කරන්න පුරුදු වෙන්න ඔනේ.එතකොට අපිට නිකම්ම ජීවිතයේ දිනුම ලැබෙනවා. හිත් රිදීම් අති වෙන්නෙත් නෑ.

7/05/2010

හදමුද රහ කෑමක්......

අපේ ගෙදර කවුරුත් නෑ, හරිම පාළුයි, නිකම් ඉන්න එකේ කෑමක් හදන්න හිතුනා පාලුව යන්නත් එක්ක. කෑම එක හදන ගමන් පින්තූර ටිකකුත් ගත්තා හදන්න කැමති අයට බලාගන්නත් එක්ක.මේක පොතේ හැටියට හදපු කෑමක් නෙමෙයි. පොතේ විදියට ගෙදර තියෙන ජාති වලින් තියෙන හැටියට හදාපු කෑමක්.....හදලා ඉවර වෙලා කාලා බලලත් ඉවරයි. කිසිම අගුනයක් නම් නෑ.... හික් හික් හික්....


කිසිම හොර බොරුවක් නෑ ඔය උඩින් පින්තූරෙ තියෙන විදියට තමයි හැදුවෙ.

අද හදපු කෑම එක තමයි sweet and sour දැල්ලො කරි එකක්. ඔන්න ඉතින් වැඩි කතා නැතුව මං හදපු විදිය කියන්නම්කො.
ඉස්සෙල්ලාම දැල්ලො 250ග්‍රෑම් (දැල්ලො 4-5 විතර )අරගෙන සුද්ද කරල ගත්තා.ඊට පස්සේ දැල්ලො ටික පින්තූරෙ නොම්බර 1තියෙන විදියටකපා ගත්තා.ඉස්සෙල්ලම දැල්ලා මැදින් පලලා ඊට පස්සෙ හතරට කැපුවා.ඒ කියන්නේ එක දැල්ලෙක්ගෙන් කෑලි 4ක් කැපුවා.

පින්තූරෙ නොම්බර 2 තියෙන විදියට පිහියකින් කතිර තියෙන විදියට යන්තම් පලා ගත්තා, එතකොට අර චයිනීස් කඩ වල තියෙනව වගේ ලස්සනට පේනවා උයලා ඉවර උනාම.

ඊට පස්සෙ මේ කෑලි ටික භාජනයකල දාලා, විනාකිරි මේස හැඳි 2, කහ කුඩු, ලුණු කුඩු,ගම්මිරිස් කුඩු ටික ටික දාලා කවලම් කරලා පැත්තකින් තිබ්බා.(පින්තූරෙ නොම්බර 4 තියෙන විදියට)

ඊට පස්සෙ පොඩි රට ළුෑණු ගෙඩි 3, කැරට් අලයක්,ළුෑණු ගස් 2,(අපේ ගෙදර තිබ්බෙ ඔය කෑලි දෙක විතරයි.)නැත්නම් ලීක්ස් උනත් කමක් නෑ; කිට්ටු කර ගත්තා .අහ්හ්... තව තක්කලි කෑලි ටිකකුත් ඔනේ. (පින්තූරෙ නොම්බර 5 තියෙන විදියට) ඔය ජාති ටිකෙන් අහුරකට අල්ලන ප්‍රමාණෙට කෑළි කපලා අර ගන්න. මං නම් ළුෑණු ගෙඩි ටික හතරට පලලා, කැරට් රවුමට පෙති කපලා,ළුෑණු ගස් ටික ඇදේට කපලා තක්කලි ටික කොටු කැපුවා,. ඒකෙ පින්තූරයක් නම් ගන්න අමතක උනා.

මීට අමතරව සුදු ළුෑනු බික් 2-3 ඉඟුරු කැල්ලක් හොඳට පොඩි වෙන්න තලා ගන්න.(පින්තූරෙ නොම්බර 6 තියෙන විදියට)භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3-4 දාලා(පින්තූරෙ නොම්බර 7), තෙල් ටික රත් උනාම කලින් පැත්තකින් තිබ්බ දැල්ලො ටික වතුර බේරලා තෙලට දාන්න. දැල්ලො ටික ඔය විදියට හෙමිහිට තැම්බෙන්න තියන්න, සැරින් සැරේ පොඩ්ඩක් කවලම් කරන්න නැත්නම් අඩිය අල්ලන්න බලයි, ඔහොම විනාඩි 4-5 යනකොට තලා ගත්ත ඉඟුරු සුදු ළුෑණු ටිකත් තෙලට දාන්න(පින්තූරෙ නොම්බර 8). සෝය සෝස් තියනවා නම් ටිකකුත් දාන්න(නොම්බර 9).එතකොට රස වැඩියි.තව තලාපු එනසාල් ඇටයකුයි කරාබු නැටි 1 දැම්මොත් හොඳ රසයකුයි සුවඳකුයි එයි. ඔය ඔක්කොම ටිකක් තෙම්පරාදු වෙන්න තියන්න විනාඩි 2ක් විතර. දැන් මේ වෙනකොට දැල්ලො ටික තැම්බිලා තියෙන්න ඕනේ(විනාඩි 6-7 කට පස්සේ).

දැන් මේකට අර කලින් කපා ගත්ත එළවළු ටික එකතු කරලා වතුර අඬු කොප්ප 1ක් දාන්න(නොම්බර 11). තක්කලි සෝස් මේස හැඳි 4-5, මිරිස් කුඩු තේ හැඳි 1/2 කවලම් කරන්න. කලින් දැල්ලො තිබ්බ බාජනේ තියෙන විනාකිරි ඉස්ම ටිකත් මේකටම දාන්න.ඊට පස්සෙ වතුර නටන කම් වහලා තියන්න. මේ අතරතුරේ කෝන් ෆ්ලොවර් පිටි මේස හැන්දක් ඇල් වතුර ටිකකින් දිය කර ගන්න(නොම්බර 10). වතුර නටනකොට මේකත් එකතු කරලා හොඳට හැඳි ගාන්න(නොම්බර 12). මතක ඇතුව දැන් ගින්දර අඩු කරන්න.
ලුණු රස ඇතිද කියලා බලන්න අමතක කරන්න එපා. සැර මදි නම් ගම්මිරිස් හරි මිරිස් කුඩු ටිකක් හරි එකතු කර ගන්න. සීනි මේස හැදි 2ක් දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න(නොම්බර 13). කොත්තමල්ලි කොළ ටිකක් තියෙනවා නම් හීනියට ලියලා උඩින් ඉහින්න(නොම්බර 14). දැන් ඉතින් කෑම ලෑස්තියි.දෙතුන් දෙනෙක්ට මේක හොඳට සෑහෙනවා.
මතක ඇතුව දැන් කුස්සියත් අස් කරන්න, ගත්ත බඩු ටික තිබ්බ තැන් වලින් තියලා පාවිච්චි කරපු බාජන ටිකත්හොඳට හේඩුවොත් හොඳයි.බාජනෙත් හොඳට වහලා තියන්න සතෙක්වත් වැටුනොත් එහෙම.(නොම්බර 15)
හප්පේ.. මං හදපු එකේ සුවඳ නිසා දෙවෙනි පාරටත් දවල්ට කෑවා... හික් හික් හික්....
මගේ රස පරීක්ෂක තුමා වැඩට ගිහිල්ලානේ , එනකොට හවස් වෙනවා. රෑ කෑමට දීලා ලකුණු දාගන්න ඔනේ....

මේක හදලා බැලුවොත් ගුණ දොස් එහෙම කියන්නකෝ.
ගෙදර ගිහින් අම්මට,wifeට කියල හදා ගන්න print out එකක් අර ගත්තට අමනාපයක් එහෙම නෑ....

6/30/2010

ලෝක විනාසේ ......


මට මේ ලෝක විනාසෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනේ පහුගිය දවසක පොඩි එකෙක් කියපු කතාවක් අහලා.මේ මල්ලි ඉගෙන ගන්නෙ 4 වසරෙ ශිෂ්‍යත්ව විභාගෙත් ලබන අවුරුද්දෙ නිසා මේයාගෙ අම්මා මෙයාව උනන්දු කරනවා ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න මොකද හොඳ ඉස්කෝලෙකට දාගන්න. දවසක් මෙයා පාඩම් වැඩ අතපසු කලාම දෙයාගෙ අම්මා පොඩ්ඩක් සැර කරලා. මෙයා කියනවලු කොච්චර වැඩ කලත් වැඩක් නෑ ලු මොකද 2012 ලෝක විනාසෙ නිසා ඔක්කොම නැති වෙනවලු, ඉතින් නිකම් බොරුවට මහන්සි වෙලා වැදක් නෑලු.

ඉතින් මේ කතාව අහලා මටත් හිතුනා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න. මොකද ඉතින් 2012 ලොක විනාස වෙලා යනවා නම් යන තැනකටවත් වැඩක් කරගන්න ඕනේනෙ.ඉතින් මේ ගැන හොයාගෙන යනකොට 2012 සහ මායා දින දර්ශනය අතර සම්බන්ධයක් තියෙන බව තේරුනා.

මායා කියලා කියන්නේ 250 AD තරම් ඈත කාලේක තිබ්බ බොහොම දියුණු ශිෂ්ඨාචාරයක්.වර්තමානයේ මේ පිහිටීම කිව්වොත්, මෙක්සිකොව,ග්වටමාලා, බ්‍රසීලය, එල් සැල්වදෝරය ආශ්‍රිත ප්‍රදේශ. ඉතින් මේ මිනිස්සු ඒගොල්ලන්ගේම කියලා දින දර්ශනයක් හදල තියෙනවා.මේ ශිෂ්ඨාචාරයේ බිඳ වැටීම හැමෝටම මාර ප්‍රශ්නයක් ඒ ගැන නොයෙක් දෙනා විවිධ මත පල කරනවා.

ඔය ඉතිහාසය ගැන හොඳට දන්න අය කියන විදියට මේගොල්ලො අනිත් ශිෂ්ඨචාර වලට ව්ඩා නිවරදිව සුර්ය වර්ෂය හොයාගෙන තියෙනවා.
ඉතින් මේ කට්ටියගෙ ගනන් හැදීම අනුව මායා කැලන්ඩරය අවුරුදු 5125කට පස්සෙ ඒ කියන්නේ අපි දන්න විදියට 2012 දෙසැම්බර් 21 අවසාන වෙනවාලු.දැනට හොයාගෙන තියෙන විදියට කැලැන්ඩරයේ අවසානයේදී පෘථිවි වාසීන් භෞතික හෝ ආධ්‍යාත්මික වෙනසකට පත් වෙලා අළුත් යුගක් ඇරඹෙන බව තමයි කියන්නෙ.ඔය පල්ලෙහායින් තියෙන්නෙ ඒ කැලැන්ඩරය ඇසුරෙන් කරපු අධ්‍යනයක්,



බුදු උපත, කිතු උපත, අනෙකුත් ශිෂ්ඨාචාර වගේ ඉතිහාසයේ නොයෙක් සන්ධිස්ථාන මේ කැලැන්ඩරයෙන් විග්‍රහ කරන්න පුලුවන් බව තමයි මේ ගැන පර්යෙෂණ කරපු අය කියන්නේ. එහෙම සටහනක් තමයි ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ.

දැන් හැමෝම මේක දැකලා කලබල වෙන්න එහෙම එපා. මේ 2012 ලෝක විනාසෙ ගැන නොයෙක් මතවාද අදටත් තියෙනනවා, මොකද කාටවත් මේකේ සුල මුල හොයා ගන්න බැරි වෙලා තියෙන්නෙ.අපි හැමෝම බුදු දහම ආශ්‍රයෙනුත් දන්නවානේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. අනික මම අහලා තියෙන විදියට බයිබලයෙත් ලෝක විනාසය ගැන සඳහනක් තියෙනව.හැබැයි ලෝක විනාසෙ 2012 කියලා හැමොම කට ඇරගෙන බලාගෙන ඉඳලා එහෙම නොවුනොත් තම තමන්ගෙ ජීවිතම තමයි තව අවුරුදු දෙකකින් පස්සට යන්නේ.

හැම දෙයක්ම කාලයත් එක්ක විසඳෙයි.මේ වගේ අගමුල නොතේරෙන කතා ගැන කල්පනා නොකර පිනක් දහමක් කරගෙන හොඳට ජීවත් වෙන එකයි තියෙන්නෙ. මොකද බැරි වෙලාවත් මොනවා හරි හේතුවක් නිසා 2012දි යන්න උනොත් අපිට ගෙනියන්න ඉතිරි වෙන්නෙත් ඔච්චර තමයි. බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ පින් පව් අපි පිටිපස්සෙ සංසාරෙ පුරාවට එනවා කියලා. ඔන්න ඉතින් හැමෝම අප්‍රමාදව කුසල් රැස් කරන්න එතකොට හෙට මැරුණත් බය වෙන්න ඔනේ නෑ,අනික එහෙම කලයි කියලා පාඩුවක් වෙන්නෙත් නෑනෙ.

6/24/2010

කොණ්ඩෙ බැඳපු චීන්නුත් නොදන්න චීන කතා-

අද උදේ අන්තර් ජන්ජාලයේ පැටලෙන කොට අපූරු පින්තූර ටිකක් හම්බ උනා. ඔබ කවදා හරි චීන ආචාර පෙළපාලියක් දැකල තියෙනවද? පෙළපාලියෙ එක නූලක වත් වැරැද්දක් දකින්න නෑ නේද? කොහොමද මේ කට්ටිය මෙච්චර නිවරදිව මේගොල්ලන්ගෙ අත පය හසුරවන්නෙ.....






පහළ තියෙන පින්තූර ටික බලන්නකො









හොඳයි, හොඳට කිරල මැනල වඩේ කලා කියමුකො, ඒත්...............................












මේකට පුහුණුවද, ස්ංයමයද එහෙමත් නැත්නම් කෘරත්වයද කියන්න මට තේරෙන්නේ නැහැ....

අපේ කළු 2


ඔන්න ඉතින් කළු අපේ ගෙදර ලොකු වෙච්ච හටි දැන ගත්තානේ.
ඉතින්ග් මේ පහුගිය දවසක අපේ මුරුගේසු සීය මෙයාගෙ කඹේ ලෙහලා වෙන ගහකට මාරු කරන්න. මෙන්නෙ බොලේ එක පාරටම කඹේ ඇදගෙන මේකා දුවල ඒ වෙලාවට නම් ඉතින් කරන්න දෙයක් නෑ ගිහිල්ල නතර වෙන තැනකින්ම තමයි අල්ලගන්න වෙන්නෙ. කොහොම හරි ලබිච්ච නිදහසෙන් උපරිම ප්‍රයොජනය ගත්ත කළුවා නොපෙනෙන මානෙටම දුවලා.

ඉතින් මොනව කරන්නද දුවපු තනකින් තමයි අල්ල ගන්න වෙන්නෙ. ඉතින් මේකව වත්ත හැම තැනම බලලා හොයා ගන්න බරිම තැන ලාල් මාමාවත් කතාකරගෙන අහල පහල වතු වලත් හොයලා.

මෙන්න ටික වෙලාවකින් මුරුගේසු සීයා කෑගහනවලු කළු ගෙ කඹේ හොයාගෙන, ඒත් මේකා පේන්න නැහැලු. කඹේ ඇද්දත් ඒකත් හිර වෙලා එන්නෙ නැහැලු. ඉතින් කඹේ දිගේ බලාගෙන යනකොට තමයි දෙන්නටම හීන් දාඩිය දාල තියෙන්නෙ.

කළු දුවගෙන යනකොට අල්ලපු ගෙදර වසිකිලි වලට වටිලා. කොන්ක්‍රීට් එකත් කඩාගෙන තමයි වටිලතියෙන්නෙ. වැඩිපුර තුවාලයක් පේන්න නොතිබුනාට කොන්ක්‍රීට් කෑල්ලක් බෙල්ලටම හිර වෙලා හෙල්ලෙන්නවත් බැරුව ඉන්නවලු. දැන් ඉතින් මෙයාව ගොඩට ගනත් ඔනෙනේ. ඒත් අරන්නෙ කොහොමද. දැන් ඉතින් කලබලවෙලා කට්ටියගෙ කෑගහිල්ලට කට්ටියත් වට වෙලාලු. වල කපනවා කියන්නෙ ගොඩක් වෙලා යන වැඩක් ඒ වෙනකම් කළුව හිටපු විදියට තියන්නත් අමාරුයි වගේලු මොකද ඌගෙ බෙල්ල හිර වෙලා බොහොම අමාරුවෙන් තමයි ඉඳල තියෙන්නෙ.

හොඳ වෙලාවට ප්‍රාදේශිය සභාවෙ බැකෝ එක කිට්ටුවක වැඩකට ඇවිල්ල කියලා කට්ටියක් ගිහිල්ලා ඒක උදව්වට ඉල්ලගන්න පුලුවන්ද කියලා බලන්න. කොහොම හරි ඒ යහපත් මනුස්සයා කමති වෙලා පැයක් විතර මහන්සි වෙලා කොන්ක්‍රීට් කෑලි ඇඟට වටෙන්නෙ නැති විදියට එහාට මෙහාට කරලා මේයාව ගොඩට අරගෙන. අරගත්තා විතරයිලු මෙයා සෙනග දැකලා බය වෙලා උදව් කරපු අයට අනින්න පටන් අරගෙන. කොහොම හරි කට්ටිය වට කරලා ආයෙමත් කඹේ ගැට ගහලා. වැසිකිලි වලකට වැටුනම ආයේ ඉතින් අහන්න දෙයක් නෑනේ මෙයා ජරාව ගාගෙන ඉන්නවාලු. ඉතින් මෙයාව ගහක ගැට ගහලා රින්සෝ ගාලා හොඳට පිරිසිදු කරලා.
අන්තිමට කට්ටිය බැලුවම වෙලාතියෙන්නෙ මොකක්ද දන්නවද, මෙයා කලබල වෙලා දුවගෙන යනකොට අල්ලපු වත්තට පනලා, එහාට පේනවා පහලින් තියෙන වෙල, මේ වෙලේ ගට ගහලා ඉදලා තියෙනවා ගොනෙක්ව ඒ දිහාවට දුවන්න ගිහිල්ලා තමයි මේ අකරතැබ්බය වෙලා තියෙන්නෙ.

පුදුමෙ කියන්නෙ කළුව වටිච්ච වෙලේ ඉඳන් අර ගොන්නු දෙන්නා අමුතු විදියට කෑ ගගහා දඟලනවලු. උන්ටත් මේ අකරතැබ්බය දැනිලා වෙන්නැති.

ඉතින් අන්තිමටම කළුව ගොඩ ගන්න උදව් කරපු හැමෝටම ස්තූතියි කියන්න ඕනෙ. අපේ මිනිස්සු අතරේ තාම ගුණ ධර්ම රැදිල තියෙනවා කියන එක හරිම සතුටක්, හැම දෙනාම උදව් කලේ නැත්නම් අපේ ගෙදර අය විතරක් කොහොමද කළුව ගොඩ අරගන්නෙ.
හොරෙන් හරක් මරන්න අල්ලගෙන යන, ගම් වදින අලි අතුන් වෙඩි තියල මරන මිනිස්සු ඉන්න රටක මෙවන් මිනිසුන් වාසනාවන්.

ස්තූතියි, අපේ කළු වෙනුවෙන්

6/22/2010

වැඩියෙන්ම ආදරේ කාටද?

කළුගෙ කතාවෙ ඉතුරු ටික ලියලා ඉවර කරන්න බැරි උනා..... ඊට කලින් පුංචි කතාවක් මතක් උනා........


මේක දවසක් අපේ ඉස්කෝලෙදි වෙච්ච කතාවක්.මට පන්තිය නම් මතක නැහැ ඒත් විෂය බුද්ධාගම. පන්තියට ආපු ටීචර් පාඩම පටන් ගන්න කලින් අපෙන් ප්‍රශ්නයක් අහුවා.
"ඔයගොල්ලො මේ ලෝකෙන් වැඩිපුරම ආදරේ කාටද?"
ඕකත් ප්‍රශ්නයක්ද, මං ආදරේ අපේ අම්මාට,මං අපේ තාත්තාට,මං නං අපේ බලු පැටියට. උත්තර මහගොඩයි, ඒවට හේතුත් ගොඩයි.
"මං නං ඔයගොල්ලො කියන දේ පිලිගන්නෙ නෑ"
" ඔය උත්තර ඔක්කොම වරදියි".
අපේ බුද්ධාගම ටීචර් එහෙම කිව්වා.

දැන් අපිට හරිම ප්‍රශ්නයක්, ටීචර් කොහොමද එහෙම කියන්නෙ.
"ඉන්නකෝ මං උදාහරණයකින්ම පැහදිලි කරන්න" ටීචර් කිව්ව.
'දැන් තමුන්ගෙ අම්මාට වැඩියෙන්ම ආදරෙයි කියපු අය අත උස්සන්නකෝ'
ඒ ළමයි අත් ඉස්සුවා.
'අපි හිතමු ඔයගොල්ලො අම්මාත් එක්ක ගමනක් යනව'
'එතකොට ලොකු දඩෝරි බල්ලෙක් හපා කන්න වගේ දුවගෙන එනවා ඉස්සරහට''ඇවිල්ලා ඇඟට පනින්න හද හද බුරනවා'
'දැන් ඔයගොල්ලො එක පාරටම මොකද කරන්නෙ?'
'දැන් කවුද අම්මගේ ඉස්සරහට පනලා බල්ලාව මෙල්ල කරගන්න හදන්නේ....'
'අත් උස්සන්න බලන්න' පන්තියම නිෂ්ශබ්දයි...
"ඔයගොල්ලො මොකද කරන්නෙ, අම්මාගෙ සායෙ එල්ලිලා අම්මාගෙ පිටිපස්සට ගුලි වෙලා ඉදී හොඳටම බය වෙලා"
'එහෙම නේද?'
'එහෙනම් තමුන් වැඩියෙන්ම ආදරේ කාටද?'

.................. තමුන්ටම තමයි

6/20/2010

අපේ කළු


පෙරේදා අම්මාත් එක්ක කතා කලා. හපොයි..... ගෙදර හරිම යුද්ධයක්.ඔක්කොටම මුල අපේ කළු...

ඔක්කොටම කලින් කියල ඉන්නම්කො කළු කියන්නෙ කවුද කියලා,කොහොමද අපේ ගෙදරට ආවෙ, එයාගෙ වැඩ කිඩ ටිකකුත් කතාවෙ පසුබිම හදන්න. දැන් ටික කාලෙකට කලින් අපේ ගෙදරට අලුත් අමුත්තෙක් එකතුවුනා ඒ තමයි පුන්චි හුරතල් වහු පටියෙක්. අපි අදුනන මාමා කෙනෙකුට භාරයක් වෙනුවෙන් හරකෙක් නිදහස් කරන්න උවමනා වෙලා. ඉතින් ඒ මාමා අදුරන කෙනෙක් මාර්ගයෙන් තැනක් හොයගෙන සල්ලිත් ලස්ති කරගෙන මරනෙට කැප ඉන්න හරක් ගාල් කරල තියෙන තැනකට ගිහිල්ලා.ඉතින් මෙතන මරන්න ගෙනියන්න ඔන්න මෙන්න ඉන්න අම්මෙකුයි පටියෙකුයි දැකල. මේක දැකල ඒ මාමාගෙ පපුව හෝස් ගාලා පත්තු වෙලා "මේ අම්මයි පැටියයි නිදහස් කරන්න කීයකට දෙනවද?" කියල අහල. ඒත් එතන හිටපු හිතක් පපුවක් නැති මනුස්සය කියපු ගාන මාමා ළග තිබ්බ ගානට වඩා හුගාක් වැඩියිලු. ඉතින් මාමා කල්පනා කරල කමක් නෑ මම අඩු ගානේ මේ පැටියවවත් බේරගෙන නිදහස් කරනවා කියල.අන්තිමේදි ගනන් හිලව් බේරුම් කරගෙන වහු පැටිය එළියට අරගෙන එනකොට පැටියගෙ අම්මා කදුළු පුරවගෙන බලාගෙන හිටියලු.උඹව නිදහස් කරගන්න මට බැරි උනාට මට සමා වෙයන් කිරි අම්මේ කියල, වහු පැටියව අරගෙන මාමා ඇවිල්ල තියෙන්නෙ බොහොම අමාරුවෙන් හිත හදාගෙන.

මාමාට මේ පැටියව බලා ගන්න කවුරුත් නැති නිසාත්, ඒ මාමාගෙ ගෙදර වහු පැටියෙක් හදන්න ඉඩකඩ නැති නිසාත් ඌ අපේ ගෙදරට අරගන්න මාමා අම්මලාව කමති කරගත්තා.අපිටත් හරිම සතුටුයි. ඉතින් අපේ ගෙදරට පිටිපස්සෙ ගෙදර ඉන්න ලාල් මාමට තමයි ඌව අපේ ගෙදරට අරගෙන එන්න භාර උනේ. මොකද මුල දවස්වල ඌ හිටියෙ අර මන් මුලින් කියපු මාමලාගෙ ගෙදර. කළු පොඩි කාලෙ ඉදලම හරිම දඩබ්බරයි. මූව පාර දිගේ දක්කගෙන එනකොට ලාල් මාමට මූ හොද රැග් එකක් දීලා; පාර පුරාම දුවල, වාහන වලට පැනල, අහළ පහළ පාරවල් දිගෙයි, ගෙවල් වලටයි පනින්න හදල ජරමර ගොඩයි. සමහර විට කළුව මරන්න අරගෙන යනකොට කරපු කරදර නිසාද දන්නෙ නෑ අදටත් නුහුරු හැඩි දැඩි පිරිමියෙක් දැක්කම හරියට කලබල කරනවා.

කොහොමින් කොහොම හරි අන්තිමට කළු අපේ ගෙදරට ආවා. ඒ දවස් වල අපේ ගෙදර හිටපු බැල්ලියෙක් පැටව් දාල සති 10-15 වෙච්ච බලු පැටව් පස් හය දෙනෙකුත් හිටිය. කළු ආව විතරයි බලු බැටෑලියන් එකම කළුව වට කරගෙන එක විගඩම‍යි. කළුටත් ඉතින් අයෙ මොනාද පාර පුරා හරඹ කරල මහන්සි උනත් බලු බැටෑලියන් එකත් එක්කත් වලියටයි සූදානම.උඩ පනිනවා, අනින්න වගේ හදනවා ඔක්කොම එයාගෙ වැඩ කෑලි ටික පෙන්නුවා.බලු පටවුන්ගෙයි උන්ගෙ අම්මාගෙයිත් මුලු සිස්ටම් එකම අවුල් වෙලා මේ කොහෙන් පාත් වෙච්ච එකෙක්ද කියල බලනවා.බුරනවා, ඉව කරනවා කළුගෙ නැට්ටත් එක්ක සෙල්ලම් කරනවා වැඩ ගොඩයි.

මුලින්ම ඌට නමක් තිබ්බෙ නෑ, මොකද අපි උනත් මූව දැකල තිබ්බෙ නෑනෙ මීට කලින්. අන්තිමට ඔක්කොම නාම යෝජනා අතරෙන් කළු කියලා ඌට නම තියන්න තීරණය උනා. ඒ නම කොච්චර හොදට ගැලපුනාද කියනව නම් ඌගෙ ඇගේ වෙනපාටක එක මයිලක්වත් තිබ්බෙ නෑ, කොටින්ම කියනව නම් උගෙ දිවත් කළුම කළුයි.ඔන්න ඔහොමයි කළුගෙ වසස්ථානය අපේ ගෙදර උනේ.

දැන් ඉතින් කළුට රෑට ඉන්නත් තැනක් ඕනේනේ, අපේ ගෙදර හරක් මඩුවක් තිබ්බත් ඒකේ හිටපු වයසක වැස්සිට කළුව දිරවන්නෙ නෑ වගෙයි. අන්තිමට අපේ ගෙදර පිටිපස්සෙ මුරුගේසුගෙ කාමරේ ළඟ තියෙන ඉස්තෝප්පු කෑල්ලෙ කනුවක ගැටගහල තියන්න කතා උනා.{මුරුගේසු කියන්නෙ අපේ දුකට සැපට සනී,අපේ ගෙදරයි වත්තයි බලාගෙන නවතිල ඉන්න සීයා, දෙමළ මනුස්සයෙක් අවිස්සවෙල්ල පැත්තෙ වත්තක ඉඳලා තමයි අපේ ගෙදරට ආවෙ} ඉතින් දවසම උගේ දුක සැප බලලා රෑ ඌව කතා කරගත්ත තැන ගැට ගහල අපි අපේ වැඩ කරගෙන ගේ අතුලෙ හිටියා.

ඉතින් රෑ බෝ උනාම ගෙදර වටේට අස්ස පැටියෙක් දුවනව වගේ සද්දයක් මුලින්ම අහෙනවා, ඊට පස්සෙ හති දාගෙන තවත් කවුරු කවුරු හරි පස්සෙන් යනවා, යනවා කිව්වාට දුවනව. මොකක්ද ප්‍රශ්නෙ කියල බැලුවම වෙන කවුද ඉතින් අපේ කළු කඹේ කඩාගෙන. ඒ මදිවට බලු මල්ලිලා හපොයි...... එකෙක්වත් අල්ලනව තියා හිතන්නවත් බෑ ඒ තරමට විසේ.මොනව කරන්නද ඔහෙ ඉන්න දීල අපි ගියා නිදා ගන්න, කොහොම නැටුවත් වත්ත අතුලෙනෙ එලියට යන්න විදියක් නෑනෙ.කොහොම හරි පාන්දර වෙනකම් අපිට නින්දක් නෑ, කට්ටියම අල්ලන සෙල්ලමක්ද කොහෙද.අන්තිමේදි උදේම නගිටල බලන කොට මුලු මිදුලම කලුගෙ අඩි පාරවල්.මුලු මිදුලම එකම මඩ ගොඩක්, ඒ විතරක් නම් මදැයි බාලිදි පෙරලලා, මල් පෝච්චි බිඳලා අම්මාටත් ටිකක් විතර කේන්ති ගිහිල්ලා. ඒත් කළු නෑ.ටිකක් හොයලා බැලුවම මේයා බලු අම්මාටයි පැටව් ටිකටයි තුරුල් වෙලා හොඳටම නිදි.

ඔය විදියට අපේ කළු නිදහසේ කාලයක් හිටියා, ඒත් මෙයාගෙ දඟ වඩ එන්න එන්නම වැඩි උන නිසා පස්සෙ කාලෙක, ටිකක් ලොකු උනාම ගැට ගහලා තියන්න සිද්ධ උනා.මෙයාව ගහෙන් ගහට මාරු කරන්න, වතුර ගෙනිහින් දෙන්න ලෙඩ උනාම බලාගත්තෙ මුරුගේසු. මේ සීයා දණ්ඩ නීති සංග්‍රහය දාලා තමයි මෙයාව ආම්බාන් කර ගන්නෙ. ඒත් අපිව නම් තඹේකට මයිම් කරන්නෙ නෑ. අපි කඹේ අල්ලුවොත් කඩාගෙන යන්න දඟලයි, එක්කො අපිව බය කරන්න ඔලුව වටයක් දෙකක් කරකවල හතර අතට පිඹ්යි, එහෙමත් නැත් නම් වතුර බොන්න දීපු වෙලාවක නම් හොම්බෙ තියෙන වතුර ටිකෙන් වටේම කට්ටිය තෙමෙන විදියට ඔලුව හොලවයි. සාමාන්‍යයෙන් වහු පටියාගෙ අම්මා ඉන්නවා නම් පැටියට කාටවත් කිට්ටු වෙන්න දෙන්නෙ නෑනෙ. ඒත් කළුගෙ අම්ම නැති නිසයි පොඩි කාලෙදිම අපේ ගෙදරට ආපු නිසයි ඔය විදියට හරිම හුරතලේට කළු අපේ ගෙදර ලොකු මහත් උනා, දැන් ඌ නඹර වැස්සියෙක්.

ඔන්න ඉතින් ලියන්න ගිය කතාව නෙමෙයි අන්තිමට කළු අපේ ගෙදරට ආපු හැටි කියන්න ගිහිල්ල පිටුවක් විතරම ගියා, වෙලාවත් සෑහෙන්න ගත උනා. ඒක නිසා මෙදා පාර අපේ කළු කරල තියෙන දඟ වැඩේ ඊළඟ ලිපියට එකතු කරන්නම්.

ඇරඹුම

මම සිOහලෙන් ලියල තියෙන බ්ලොග් කියවන්න පටන් ගත්තෙ බොහොම මෑතකදි. ලOකවෙන් ඈතට ගියට පස්සෙ පළුව කාන්සිය මකා ගන්න සිOහල බ්ලොග් කියවනයේ තියෙන සටහන් බලන්න පුරුදු උනා. ඔය ඉන්න අතරෙදි මටත් මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න ආස හිතුන. ඉතින් අද ඒකට ඉඩකඩ හදා ගන්න පුලුවන් උනා. එහෙනම් ඉතින් පටන් අරගෙනම බලමුකෝ.
විවාහ උනාට පස්සෙ මගේ ආදරවන්තයත් එක්ක මට මැද පෙරදිග රටකට පියාබන්න සිද්ද උනා අකමත්තෙන් උනත්. කාන්තරෙක තියෙන කාෂ්ටකකම මේ රටට පය තියෙන කොටම අඩු නතුව දනුනා.දැන් මේ සටහන තියෙන කොටත් උෂ්නත්වය සෙල්සියස් 45. ඉතින් තව මොන කතාද.
දොහා අන්තර්ජාතික ගුවන් තොටුපොලෙන් ගොඩ බැහැල කටාර් රටට අවේ දැන් මාසෙකට විතර කලින්.

ඊට පස්සෙ ගුවන් තොටුපොලෙන් එලියට අවිල්ලා කඩු දෙකේ හන්දිය {මේ රටේ අගනුවරට අතුලු වෙන තැනේ පාර හරහ තියෙන්නෙ ලොකු කඩු දෙකක් හරහට තියල හදපු ආරුක්කුවක් ඒකට ලන්කාවෙ කට්ටිය කියන නම තමයි ඒ;ඔය උඩින් තියෙන පින්තූරෙ තියෙන්නෙ ඒක තමයි} පහු කරල කටාර් Galle Face {මේකත් කලින් වගේ නමක් තමයි}එක ඉස්සරහින් ලොකු වටයක් ගිහිල්ල අපේ නවාතනට ආවේ. කටාර් Galle Face එකත් අපේ Galle Face මුහුදු තීරය වගේ තමයි. හබැයි මුහුදු රැල්ල පාගන්න බැහැ. ඒ උනාට ලස්සනට ඉදි ගස්, තනකොල, ලස්සන මල් පැල වවල මිනිස්සුන්ට විනොද වෙන්න පුලුවන් වෙන්න හදල තියෙන්නෙ.හරිම ලස්සන තැනක්. පහළ පින්තූරෙ තියෙන්නෙ කටාර් Galle face එහෙමත් නැත්නම් Corniche, Doha නුවර දර්ශනයක්

එතන ඉදන් කාන්තරයේ හිර වෙලා වේලෙන ජීවිතයට සයිබර් අවකශයෙන් පොඩි තෙතමනයක් ලබෙයි කියල හිතනවා. මගේ ජීවිතේ සිද්ද උන මේ වෙනස තමයි මගේ බ්ලොග් ජීවිතයට අත්පොත් තැබුවෙ. මීළග බ්ලොග් සටහනෙන් හමුවන තුරු අරඹුමට තිත තබන්නම්.