Powered By Blogger

8/26/2010

අපේ කළුගේ දූ පැටික්කී

අද මට ගොඩාක් සතුටු කතාවකුයි ගොඩාක් දුක කතාවකුයි කියන්න තියෙනවා.... ඉස්සෙල්ලාම සතුටු කතාවද දුක හිතෙන කතාවද....... ඉස්සෙල්ලාම සතුටු කතාව කියලා ඉන්නම් නේද...
මේක මට ලියන්න අමතක උනානේ කියලා හිතුනේ අද උදෙම කියවපු "කෙල්ලයි මමයි, මගේ පුංචි කාලේයි….. " කතාව කියවද්දී.

මම කලින් ලිපියක ලියලා තියෙනවානේ අපේ කළු ගැන.මගේ කලින් ලිපිය කියෙව්වානම් දන්නවා ඇතිනේ අපේ කළු මරන්න ගෙනිහින් තියෙද්දී බේරාගෙන ඇවිල්ලා පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර තමයි ඇති දැඩි උනේ කියලා. ඉතින් මෙයාට ටික දවසකට කලින් පුංචි දූ පැටික්කියෙක් ලැබුනා. දුව නම් අම්මා වගේ නෙමෙයි දුඹුරු පාටයි. ඔය උඩ තියෙන පින්තූරේ ඉන්නෙ එයා තමයි.දූ පැටික්කී නම් හරි සිරියාවන්ත පාටයි නේද. මට නම් ආසාවෙ බෑ.ලංකාවට යන්න තව සති දෙකක් තියෙනවා. එතකන් ඉවසිල්ලක් නෑ මෙයාව දැක ගන්න.

මගේ සීයා හොඳ ගොවි මහත්තයෙක් ඉතින් ඔය ගොවිතැන් වැඩ වලට පොහොර ටිකක් ගන්න, වත්ත පිටියෙ කැලෑව ටික අඩු කරගන්න අපේ ගෙදර හැමදාම වගේ වැස්සියෙක් හිටියා. අදටත් අපේ ගෙදර වටේ තණකොළ ටික free of charge ගානට ලෙවෙල් කරලා කපලා දෙන්නෙ කළු තමයි.හික් හික් හික්... මල් ගස් වලට හොම්ඹ ගාන්න බැරි වෙන විදියට ගල් ඉන්න ගහලා ඒකේ කළුව ගැට ගැහුවාම ගල් ඉන්න කේන්ද්‍රයේ ඉඳන් full circle එකම කළු ගානට කපලා දෙනවා.

සීයා නැතිවෙනකොට හිටපු වැස්සි වයසට ගිහිල්ලා මැරුණා.ඉස්සර නම් වැස්සියන්ට පැටව් හදන කාලේ වෙනකොට අපේ සීයා ගෙදර වැස්සිව පට්ටි දාන්න අරගෙන යනවා. ඒ කියන්නේ ගමේ හරක් ඇතිකරන ගෙදරකට ගෙනියනවා. මොකද අපේ ගෙදර පිරිමි සතෙක් නෑනේ.එතන ඉන්න නාඹර හරක් එක්ක ටික දවසක් තියලා වැස්සි ගැබ්බර උනාම තමයි අරගෙන එන්නේ.

හැබයි කළුව නම් එහෙම අරගෙන ගියෙ නැහැ මොකද මෙයාගේ boy friend ඉන්නෙ පිටිපස්සේ වත්තේනේ.
ඉතින් ඔය දෙන්නාගෙ සම්බන්දේ දුර දිග ගිහිල්ල තමයි දු පැටික්කීව හම්බවෙලා තියෙන්නේ.දු පැටික්කී නම් තාත්තා වගේමයි.

දැන් මේ දවස් වල ගෙදර හරිම ජංජාලයක්. මොකද අම්මටයි තත්තාටයි දෙන්නටම පැටියත් එක්ක ඉන්නයිලු උවමනාව. තිරිසන් සත්තු උනත් දරු සෙනෙහස උතුරනවා. ඉතින් අම්මවයි තත්තාවයි කොහේට හරි ගෙනියන්න ඔනේ නම් ඉස්සරවෙලාම පැටියාව ගෙනියන්න ඔනේලු.එතකොට කාන්දම වගේ අම්මයි තාත්තයි පස්සෙන් එනවාලු. නැත්නම් අම්මයි තාත්තයි හොල්ලනවා බොරුලු.
දු පැටික්කිගෙත් හරි හරි සෙල්ලම්ලු, මෙයා දවල් දවසෙම අම්ම ලඟට වෙලා කිරි බිබී ඉඳලා රෑට හොරෙන්ම තත්තා ලඟට යනවාලු. ගැට ගහලා තිබ්බත් ලණුව කඩාගෙන හරි යනවාළු.
ඒකත් ටිකක් භයානකයි,රෑට මේයා තාත්තාව හොයාගෙන යන්න ගිහින් අතරමං වෙලා කවුරු හරි අල්ලාගත්තොත්. මොකද අද කාලේ ඉන්න සමහර මිනිස්සුන්ට හිත් පිත් නෑනේ. කරලා අල්ලගෙන ගිහින් මරන්න උනත් බැරි නෑ. එහෙමත් සිද්ධියක් උනා ඒක තමයි දුක හිතෙන කතාව. ඒක පස්සේ කියන්නම්.

 පුදුම වැඩේ කියන්නේ කළු ගැබ්බර වෙලා කියලා කවුරුත් දැනගෙන ඉඳලා නෑ. සාමාන්‍යයෙන් හරකුන්ටත් මිනිසුන්ට වගේම ගැබ්බර උනාම අමාරුකම් දැනෙනවාලු. කොහොම හරි කළුව අල්ලපු ගෙදර වලකට වැටුනා කියලා මං කිව්වනේ කලින් ලිපියක. එතකොටත් මෙයා දූ පැටික්කිව හම්බවෙන්න තමයි ඉඳලා තියෙන්නේ. දෙයියො බලලා වගේ දෙනාටම  කිසිම කරදරයක් වෙලා නෑ.

වත්තේ වැඩට ආපු මනුස්සයෙක් පැටියා දැකලා අපේ ගෙදරට කියනකම් කවුරුත් දැනගෙන ඉඳලා නැහැ.පැටියා ඉපදිලා නැගිට්ටත් පස්සේ තමයි හැමෝම දැකලා තියෙන්නේ.ඒත් ඒ කළුගෙම පැටියා කියලා හරියටම දැනගෙන තියෙන්නේ එතන වැටිලා තිබිණු වැදෑමහ දැකලා. ඒක දැක්කේ නැත්නම් ඉතින් හිතන්නේ අම්ම මග ඇරිලා අතරමං වෙච්චි පැටියෙක් කියලනේ.
කොහොම හරි ඉස්සර අපේ සීයා කියන්නේ වහු පැටව් දකින්නේ නැතුව ඉපදෙනවා නම් හොඳයි කියලයි. නැත්නම් ඇස්වහ වදිනවාලු. වහු පැටව් ලැබෙන්න අමාරු උනාම අපි කාටවත් බලන්න දෙන්නේ නෑ. සීයා විතරයි මඩුව ඇතුලට යන්නේ. සීයත් මඩුව ඇතුලේ හිටියාට බලන්නේ පැටියා ඉපදුනාට පස්සේලු.  ඊට පස්සේ වහු පැටියාගේ අම්මා පැටියාව ලෙවකාල පිරිසිදු කරලා, පැටියාට කිරි බොන්න සලස්වලා ඌ නැගිට්ටට පස්සේ තමයි අපිට වහු පැටියාව දකින්න සලස්වන්නේ.
ඉස්සර සීය ගම්බාර දෙයියන්ට පඬුරුත් ගැටගහනවා පැටියා ලැබෙන්න වැස්සිට අමාරු දැනීගෙන එනකොට. අනේ ඉතින් ඒ කිසිම දෙයක් කරන්න කළුට පැටියෙක් ලැබෙන්න කියලාඅපි දැනගෙන හිටියේ නෑනේ .......
කොහොම උනත් දෙයියන්ගේ පිහිටෙන් කළුයි දූ පැටික්කියි සනීපෙන් ඉන්නවා. පශු වෛද්‍ය මහත්තයත් ඇවිල්ල දුක සැප බලලා යනවාලු.
ඔන්න ඕක තමයි සතුටු හිතෙන කතාව. දුක හිතෙන කතාව මෙතනම ලියන්න හිත දෙන්නේ නෑ. ඒක වෙනම පොස්ට් එකකින් දාන්නම්. ශුභ සිද්ධියක් අස්සේ මොකට දුක හිතෙන කතා කියනවාද....
මොනවා උනත් කළුටයි දුවටයි තත්තාටයි මැරෙනකම් ඉන්න අපේ ගෙදර හෙවන තියෙනවා කියන එකත් මතක් කරන්නම ඕනේ.

8/19/2010

ජීවිතය දිනන්නට; පුංචි සිහිනයක්, පුංචි සිතිවිල්ලක්, පුංචි උත්සාහයක් සහ හයිය හිතක්

අපි ජීවිතයේ ජයග්රහණ ලබන්නේ පරාජයන් තුලින් හරියට නිකම් වැටි වැටි නැගිටිනවා වගේ. පුන්චි දරුවෙක් එකපාරටම නැගිටල ඇවිදින්න පටන් ගන්නේ නෑ. ඉස්සරවෙලාම පෙරළිළා, දණගාලා, අල්ලගෙන නැගිටලා පියවරෙන් පියවර තමයි ඇවිදින්න පටන් ගන්නේ. එහෙම කරන්නෙත් කොච්චර අමාරුවෙන්ද වරද්ද වරද්ද නැත්නම් අනික් අයගේ උදව් ලබාගෙන...
නමුත් අපි ලොකු වෙනකොට අපිට ජීවිතයේ වෙන වැරදීම් දරාගන්න සමහර වෙලාවට අපහසු වෙනවා. අපේ හිත්වල ඇතිවෙන හීන මානය විසින් අපිව මානසිකව වට්ටනවා. අපිට අමතකයි අපි පොඩි දවස් වලත් මේ වගේමයි වැටි වැටි නේද නැගිට්ටෙ කියලා. ඒ වගේම තමයි වටාපිටාවේ ඉන්න අයත් එකතු වෙලා කියන දේවල් වලින් අපේ හිත් තවත් වට්ටනවා.
සමහර වෙලාවට ජීවිතය දිනපු කෙනෙක් දිහා සමාජය බලන්නෙ එක පත්තකින් විතරයි................
“එයා දිනුවෙ එයාගෙ වෙලාව හොඳයිනෙ”,
“අපෝ ඕක මොකක්ද අපිටත් කරන්න තිබ්බනේ”
” කවුද දන්නේ තව යටින් මොන මොන දේවල් කලාද කියලා”
................................ඔන්න ඔහොම දෙපැත්ත කැපෙන විදියට අපි සමහරු කතා කරන්නේ.
ඒ වගේම තමයි අපි මොනවා හරි කරන්න ගියාම;
"ඔයාට පුලුවන්ද ඕක කරන්න?"
"අනේ මන්දා ඔතන පටන් ගත්ත කිසි දෙයක් අද වෙනකම් හරි ගියේ නෑ"
“ඔය මිනිහා හැමදාම කරපු දේවල් වැරදුනා, ඔය මිනිහට පල දෙන්නේ නැද්ද කොහෙද"
................ ඔන්න ඔය වගේ නොකෙරෙන පැත්තට කී දෙනෙක් කතාකරනවද, හතර වටේ ඉන්න අයට තමයි ඔක්කොම ප්රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අපිවම තමයි හෙම්බත් වෙන්නේ
මේ හදිස්සියේම මැණික්ට මෙහෙම දෙයක් ලියන්න හිතුනේ, එයාටත් තියෙනවා පුන්චි සිහිනයක් සැබෑකරගන්න. සිහිනයක් කිව්වට ඒක ව්යාපාර සිහිනයක්... ඒකටත් ඉතින් ඔය වගේ කතන්දර ගොඩක් නම් එක එක්කෙනා කියනවා..... බලමුකෝ ඒ කොහොම උණත් හිතේ ධෛර්යය ඒ හැම එකකටම වඩා වැඩියි. අනික මැණික් ගේ මහත්තයයි, තාත්තයි නම් හැමවෙලාවෙම මැණික්ව දිරිගන්නනවා.
කිසිම දෙයක් පටන් ගන්න නම් ලේසි නෑ අමාරුයි. පටන් ගත්තත් පවත්වාගෙන යන එක ඊටත් වඩා අමාරුයි.ඒත් හිතේ හයිය තියෙනවා.
ගොඩක් වෙලාවට මේ වගේ දෙයකදි අපේ මතකයට එන්නේ රිච්ඩ් බ්රැන්සන්,ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ පිටරට මිනිස්සු. ඒකේ වැරද්දක් නම් නැහැ. ඔවුන් හැමෝම අවිවාදයෙන්ම සාර්ථක ව්යාපාරිකයන්. තෝරු මෝරු අතරේ හාල් මැස්සො පේන්නෙ නැතුව යනවා වගේ ඒ අතරේ අපේ ලංකාවෙ සාර්ථක වෙච්චි මිනිස්සු ගන අපි කතා කරනවා අඩුයි කියලා හිතුනා.
ඔය වගේ පුන්චි හීන සබෑ කර ගත්ත කීපදෙනෙක්ව ඔය අතරෙදි මැණික්ට මතක් උනා.අපිට අමතක වෙච්ච අපි කතා නොකරන මේ චරිත ගැන පොඩි සටහනක් තියන්න ඔනේ කියලා හිතුනා.

අහලා තියෙනවද අඟුණුගහ ගමගේ හින්නි අප්පුහාමි ගැන.....
හිනා වෙන්න නෙමෙයි ඇත්තටමයි අහන්නේ.... යන්තම් හරි කන වැටිලා තියෙනවද.... ටිකක් නුහුරුයි වගේ නේද...කමක් නෑ....
මැලිබන් නම අහලා තියෙනවාද...නම කියන කොට රහත් මතක් වෙනවා ඇති සමහර අයට නම්.
දැනට අවුරුදු 75-80කට විතර උඩදි තේ කඩයකින් පටන් අරන් අර රත්මලානේ තියෙන මහා ෆැක්ටරිය හදලා ලන්කාවට මුලින්ම ලංකාවෙ බිස්කට් කන්න පුරුදු කලේ හින්නි අප්පුහාමි මහත්තයා.
ගාල්ලේ අක්මීමනින් ආපු හින්නි අප්පුහාමි මහත්තයා කොළඹ කොටුවෙ පළවෙනි හරස්වීදියේ පුන්චි තේ කඩයකින් තමයි පළමු පියවර තියලා තියෙන්නේ. කොහොමහරි පිටරටින් මැශින් ගෙන්නලා ඔය රත්මලානේ මැලිබන් ෆැක්ටරිය දාලා තියෙන්නේ 1963දිලු.ඒ වෙනකම් පොඩියට තමයි ව්යාපාරේ පවත්වාගෙන ගිහින් තියෙන්නේ. මම අහලා තියෙන විදියට බිස්කට් කියන්නේ ඒ කාලේ “luxury good” එකක්. රට බිස්කට් විතරක් ලංකාවෙ තිබිච්චි යුගයක,ලංකාවෙ බාගයක් විතර මිනිස්සු බිස්කට් කියන්නේ මොනවාද කියලා හරියට දැනගෙන තිබ්බෙ නැති යුගයක බිස්කට් ෆැක්ටරියක් දාන්න හින්නි අප්පුහාමිට කොයිතරම් නම් හිතේ හයියක් තියෙන්න ඇතිද? ඒකාලේ හින්නි අප්පුහාමිට නම් අපිට වගේ ව්යාපාර පරිපාලනය කියලා දෙන්න මයිකල් පොර්ටර් ලා, ඇන්සොෆ් ලා, මෙන්ඩලොව් ලා එකී මෙකී නොයෙක් අය නම් හිටියේ නැතුව ඇති. ....

එතකොට වික්ටර් හෙට්ටිගොඩ මහත්තයා ගැන අහලා තියෙනවාද? හෙට්ටිගොඩ සමූහ ව්යාපාරය ආරම්භ කලේ එතුමා තමයි. වෙන කවුරුත් නෙමෙයි අපේ සිද්ධාලේප වෙද මහත්තයා තමයි ඒ. 1937 මාතර කනංකේදී උපත ලැබු මෙතුමා කාලයක් රාජ්ය සේවයේ නියුතු වෙලා ඉඳලා ඒකෙන් අස් වෙලා තමන්ට පාරම්පරිකව ලැබුණු වට්ටෝරුවක් මාර්ගයෙන් බොහොම දුක් මහන්සියෙන් තමයි මේ තරමට දියුණු වෙලා තියෙන්නේ. මම අහලා තියෙන විදියට ඔය සිද්ධාලේප බාම් කුප්පියකට මුල් කාලයේ සත5ක විතර ලාබයක් තියාගෙන තමයි විකුණලා තියෙන්නේ. බොහොම මුදල් අමාරුකම් මැද්දේ ආරම්භකරපු මේ ව්යාපාරය ප්රචලිත කරන්න හෙට්ටිගොඩ මහත්තයා ගමක් ගමක් ගානේ ගියා කියලා තමයි කියන්නේ. හෙට්ටිගොඩ මහත්තයාට කොයිතරම් නම් ධෛර්යයක් තියෙන්න ඕනේද ඔය ගමන අතරමැද නතර නොකර අද තියෙන තත්වයට නංවන්න. අපි නම් කරයිද. හිත ඇත්නම් පත කුඩාද....

එච්. කේ. ධර්මදාස මහත්තයා ගැන අහලා තියෙනවාද, නවලෝක මුදලාලි කිව්වොත් නම් කවුරුත් දන්නවා ඇති. යන්තම් පහේ පන්තිය පාස් වෙලා හිටපු කළු මහත්තයා (නවලෝක මුදලාලිට ගමේ කට්ටිය කතා කරන්නේ ඒ නමින්ලු )තම පියාගේ මරණයෙන් පස්සේ ඇදුම් කැඩුම් ටිකක් අරගෙන කොළඹට එනකොට සන්ත්කේටම තිබිලා තියෙන්නේ රුපියලයි. ඒත් අද.....

ඒ වගේම උපාලි විජේවර්ධන මහත්මයාත් අකාලයේ සමුගත්ත අපේ රටට අහිමි වෙච්චි, සෑහෙන දුර ගමනක් යන්න තිබිච්චි ව්යාපාරිකයෙක්. රටේ අවාසනාවට වෙන්න ඇති එතුමා ජීවිතයෙන් සමු ගන්න ඇත්තේ.එතුමා ජීවත්ව හිටියා නම් අපේ රටේ කාර් එකක් හදන්නේ මීට ගොඩාක් කලින්. යුනික් රේඩියෝ හැදිල්ලත් එතනම නැවතුනා.අදටත් උපාලි සමූහ ව්යාපාරය තියෙනවා නමුත් එතුමා හිටියා නම් එම ව්යාපාරය මීට වඩා ලොකු පෙරලියක් රටේ ඇති කරාවි කියලයි මට නම් හිතෙන්නේ.
අපේ රටේ ආර්ථිකය විවෘත කරපු ගමන් එතුමා පටන් අරගත්තු දේවල් ඒ විදියට දියුණු කරගෙන ආවානම් අපේ රටත් අද සෑහෙන ඉස්සරහයින් ඉන්න තිබුනා කියලා මැණික්ට හිතෙනවා.

එතකොට රවි ලියනගේ මහත්තයාව අඳුනන්නේ කවුද.... නම කිව්වට නිච්චියක් නෑ නේද... හැබයි රයිගම් කියන නම නම් අහලා ඇති නේද....එදා පුන්චියට සෝයා නිපදවන්න පටන් අරගත්තු ව්යාපාරය අද ලන්කාවෙ ප්රධාන පාරිභොගික භාණ්ඩයක්.

කොළඹ ඩික්මන් පාරේ පුන්චි ඇදුම් කඩයකින් පටන් අරන් පහුගිය සතියක කොළඹ කොටස් වෙළඳ පොළට ඇතුලත් කරපු ඔඩෙල් ආයතනය අරඹපු ඔටාරා ගුණවර්ධන මහත්මිය, මයික්රො කාර් සමාගම අරඹපු ලෝරන්ස් පෙරේරා මහත්තයා,ඒ වගේම හැරි ජයවර්ධන, කෙන් බාලෙන්ද්ර, අශෝක් පතිරගේ, වැනි ව්යාපරිකයින් පුන්චි සිහින සැබෑවන් කරපු වීරයො කියලයි මට හිතෙන්නේ.

ඔය ඉහළින් ලියලා තියෙන්නේ මේ වෙලාවේ හැටියට මගේ මතකයට ආපු සාර්ථක ව්යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් විතරයි. ඔවුන්ගේ ජීවිත වලින් අරගන්න කොයිතරම් නම් දේවල් ඇතිද, ඒත් ඒගැන කතා කෙරෙන අවස්ථා නම් බොහොම අඩුයි.

මේක ලියන අතරේ උසස් පෙළ ලියන කාලේ අපේ රසායන විද්යා ගුරුතුමා, බුළත්සින්හල සර් කියපු කතාවක් මතක් උනා.ඒ දවස් වල යුද්දේ පැවතිච්ච කාලේ, එතුමා කිව්වා උතුරේ ඉන්න ළමයි හරියට අධ්යාපනයක්වත් නැතුව ඩයිනමයිට් ටිකක්, වීදුරු කෑළි යකඩ ඇණ ටිකක් අරගෙන බොම්බ හදනකොට උ.පෙළට අවුරුදු දෙකක් රසායන විද්යාව කරපු කොළඹ ළමයින්ට අඩු ගානේ පත්තු කරන්න ගිනිකූරක්වත් හදා ගන්න බෑ කියලා.

අද කොච්චර නම් තරුණ උපාධිදාරී ළමයි රස්සාවල් ඉල්ල ඉල්ලා පාරවල් වල කෑ ගගහා උද්ඝෝශණ කරනවාද. අවුරුදු දහ තුනක් ඉස්කෝලෙ ගිහිල්ලා සා. පෙළ, උ. පෙළ පාස් වෙලා, ඉස්කෝලේ යන දහස් ගානක් ළමයි අතරෙන් පෙරිලා වගේ කොටසක් තමයි කැම්පස් එකට යන්නේ. ඊට පස්සේ ඒක ඉවර වෙලා රස්සාවල් හොයනවා, හොයාගන්න පුලුවන් එක්කෙනා යනවා අනික් අය කාලෙන් කාලේට උද්ඝෝශණ.
අපේ අධ්යපන ක්රමයේත් වැරදි නැතුවම නොවෙයි, මොකද ගිරා පැටව් ටිකක්නේ එලියට එන්නේ, ඉතින් අලුත් සිතිවිලි ඇති වෙන්නේ කොහොමද.

මැණික්ට හිතෙන විදියට නම් පුන්චි හරි අදහසක් හරියට ක්රියාත්මක කලොත් ඔය රැකියා ප්රශ්නෙත් විසඳන්න පුලුවන් කියලයි. නිකමට හිතලා බලන්න පහේ පන්තිය පාස් වෙලා කොළඹට ඇවිල්ලා ව්යාපාරයක් දාපු නවලෝක මුදලාලි නිසා ඔය උපාධිලාභියො කී දෙනෙක් ජීවිතය ගටගහගන්නවාද කියලා....
ජීවිතය දිනන්න නම් කරන්න දේවල් කොයිතරම් නම් තියෙනවාද, අවශ්ය වෙන්නේ පුන්චි සිතිවිල්ලක්, පුන්චි උත්සාහයක් සහ හොඳ හයිය හිතක් විතරයි.

8/10/2010

සිතන්නට යමක්.......

ඔබ නිතිපතා බලන පුවත්පතක ඔබේ නම සඳහන්වී තිබුනොත් ඔබට හිතෙන්නේ මොනවාද.......
ඔබ නිතිපතා බලන පුවත්පතේ මරණ දැන්වීම් අතර ඔබේ නම දුටුවොත්.........මියගිය අය අතර ඔබේ නම සඳහන්ව තිබුනොත්...... ඔබේ හැඳින්වීම කොයි විදියට තිබුනොත්ද කැමති..... ඔබගේ නමට යටින් "මරණයේ වෙලෙන්දා මිය යයි" යනුවෙන් හැඳින්වීමක් තිබුනොත්.....
ඇත්තටම අදට අවුරුදු 115කට විතර පෙර පුද්ගලයෙක් උදෑසන පුවත්පත පෙරළා, මරණ දැන්වීම් පිටුවේ තමන්ගේ නමට ඔය විදියේ හැඳින්වීමක් දුටුවා.
ඔහු මේ දැන්වීම දැකලා ඉතාමත් පුදුමයට ඒවාගේම කම්පනයට පත් උනා, ඔහු නැවත නැවතත් කියෙව්වා, නමුත් සඳහන්ව තිබුනේ එකම දෙයක්. තවත් පහලට කියවාගෙන යනවිට "මිනිසුන් විශාල වශයෙන් පහසුවෙන් ඝාතනය කරන ආකාරය ලොවට හඳුන්වාදීමෙන් ලෝක කීර්තියට පත්වූ, ධනවත්වු මහා ව්‍යාපාරිකයා ඊයේ දින අභාවපාප්ත විය" යනුවෙන් තවත් හැදින්වීමක්.
"දෙවියනේ මම, මැරිලාද පණ පිටින්ද....." සිහි එලවා ගත් ඔහු දිගටම එම දැන්වීම කියවූවා. 

මේ දැන්වීම එක්තරා ප්‍රංශ පුවත්පතක වැරදීමකින් පළවූවක්. මේ හැදින්වීම තිබුනේ සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයා ගැන. ඔහුගේ සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් පටලවාගෙන එම පුවත්පත මේ ආකාරයෙන් සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයා ගැන මරණ දැන්වීමක් පළ කරලා තිබුනේ.

"මම ගැන මිනිස්සු හිතන්නේ මේ විදියටද...., මරණයේ වෙලෙන්දා".... මේ වගේ සිතිවිලි ඔහුගේ හිත පුරා හොල්මන් කරන්න පටන් ගත්තා...  මේ සිද්ධිය ඔහුව කැළඹෙව්වා, මිනිසුන් ඔහුව මේ ආකාරයට හඳුන්වනවාට ඔහු කැමති උනේ නෑ....

මේ විදියට තමයි නොබෙල් සාම ත්‍යාගය ආරම්භ උනේ.ඔහු පැරීසියේදී ඔහුගේ අන්තිම කැමති පත්‍රය මගින් ඔහු මිනිසුන් සමූල ඝාතනය කරන්න නිපදවපු ඩයිනමයිට් වලින් ලබාපු ආදායම නොබෙල් සාම පදනමට ලබාදුන්නා. ඊළඟ අවුරුද්දේ ඔහු මිය යනකොට ඔහු ඔහුගේ ප්‍රතිරූපය වෙනස් කරගත්තා.අවසාන මොහොතේදී වුවත් ඔහු තමාගේ හැඟීම්,සිතිවිලි හරි පැත්තට යොමු කලා.

අපි අපේ ජීවිත ගත කරන්නේ කොහොමද......අපේ සිතිවිලි..... අපේ ක්‍රියාවන්....
අපි මියගියාට පසු....... තවත් එක් මියගිය මිනිහෙක් වෙයිද....
කවුරුන්හෝ අපිව ආදරයෙන් ගෞරවයෙන් මතක් කරයිද......
අපේ මරණයෙන් පස්සේ අපේ රටට ලෝකයට උරුම කරන්නේ මොනවාද.....

සිතන්නට යමක්.......

(ප.ලි.
ටිකක් කල්පනා කරන කොට හිතුනා එදා නොබෙල් මහත්මයා අදහස් කරපුදේ ඒ ආකාරයෙන්ම සිද්ධවෙනවාද කියලා. මොකද මහත්මා ගාන්ධිතුමා නාම නිර්දේශවල ඇතුලත් වෙලා සාම තෑග්ග නොලැබෙද්දි ඔබාමාට නිකම්ම නොබෙල් තෑගි ලැබුනා.... මේ වගේ කලු පැල්ලම් කීපයකුත් නොබෙල් සාම ඉතිහාසයේ තියෙනවා..)