Powered By Blogger

8/19/2010

ජීවිතය දිනන්නට; පුංචි සිහිනයක්, පුංචි සිතිවිල්ලක්, පුංචි උත්සාහයක් සහ හයිය හිතක්

අපි ජීවිතයේ ජයග්රහණ ලබන්නේ පරාජයන් තුලින් හරියට නිකම් වැටි වැටි නැගිටිනවා වගේ. පුන්චි දරුවෙක් එකපාරටම නැගිටල ඇවිදින්න පටන් ගන්නේ නෑ. ඉස්සරවෙලාම පෙරළිළා, දණගාලා, අල්ලගෙන නැගිටලා පියවරෙන් පියවර තමයි ඇවිදින්න පටන් ගන්නේ. එහෙම කරන්නෙත් කොච්චර අමාරුවෙන්ද වරද්ද වරද්ද නැත්නම් අනික් අයගේ උදව් ලබාගෙන...
නමුත් අපි ලොකු වෙනකොට අපිට ජීවිතයේ වෙන වැරදීම් දරාගන්න සමහර වෙලාවට අපහසු වෙනවා. අපේ හිත්වල ඇතිවෙන හීන මානය විසින් අපිව මානසිකව වට්ටනවා. අපිට අමතකයි අපි පොඩි දවස් වලත් මේ වගේමයි වැටි වැටි නේද නැගිට්ටෙ කියලා. ඒ වගේම තමයි වටාපිටාවේ ඉන්න අයත් එකතු වෙලා කියන දේවල් වලින් අපේ හිත් තවත් වට්ටනවා.
සමහර වෙලාවට ජීවිතය දිනපු කෙනෙක් දිහා සමාජය බලන්නෙ එක පත්තකින් විතරයි................
“එයා දිනුවෙ එයාගෙ වෙලාව හොඳයිනෙ”,
“අපෝ ඕක මොකක්ද අපිටත් කරන්න තිබ්බනේ”
” කවුද දන්නේ තව යටින් මොන මොන දේවල් කලාද කියලා”
................................ඔන්න ඔහොම දෙපැත්ත කැපෙන විදියට අපි සමහරු කතා කරන්නේ.
ඒ වගේම තමයි අපි මොනවා හරි කරන්න ගියාම;
"ඔයාට පුලුවන්ද ඕක කරන්න?"
"අනේ මන්දා ඔතන පටන් ගත්ත කිසි දෙයක් අද වෙනකම් හරි ගියේ නෑ"
“ඔය මිනිහා හැමදාම කරපු දේවල් වැරදුනා, ඔය මිනිහට පල දෙන්නේ නැද්ද කොහෙද"
................ ඔන්න ඔය වගේ නොකෙරෙන පැත්තට කී දෙනෙක් කතාකරනවද, හතර වටේ ඉන්න අයට තමයි ඔක්කොම ප්රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අපිවම තමයි හෙම්බත් වෙන්නේ
මේ හදිස්සියේම මැණික්ට මෙහෙම දෙයක් ලියන්න හිතුනේ, එයාටත් තියෙනවා පුන්චි සිහිනයක් සැබෑකරගන්න. සිහිනයක් කිව්වට ඒක ව්යාපාර සිහිනයක්... ඒකටත් ඉතින් ඔය වගේ කතන්දර ගොඩක් නම් එක එක්කෙනා කියනවා..... බලමුකෝ ඒ කොහොම උණත් හිතේ ධෛර්යය ඒ හැම එකකටම වඩා වැඩියි. අනික මැණික් ගේ මහත්තයයි, තාත්තයි නම් හැමවෙලාවෙම මැණික්ව දිරිගන්නනවා.
කිසිම දෙයක් පටන් ගන්න නම් ලේසි නෑ අමාරුයි. පටන් ගත්තත් පවත්වාගෙන යන එක ඊටත් වඩා අමාරුයි.ඒත් හිතේ හයිය තියෙනවා.
ගොඩක් වෙලාවට මේ වගේ දෙයකදි අපේ මතකයට එන්නේ රිච්ඩ් බ්රැන්සන්,ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ පිටරට මිනිස්සු. ඒකේ වැරද්දක් නම් නැහැ. ඔවුන් හැමෝම අවිවාදයෙන්ම සාර්ථක ව්යාපාරිකයන්. තෝරු මෝරු අතරේ හාල් මැස්සො පේන්නෙ නැතුව යනවා වගේ ඒ අතරේ අපේ ලංකාවෙ සාර්ථක වෙච්චි මිනිස්සු ගන අපි කතා කරනවා අඩුයි කියලා හිතුනා.
ඔය වගේ පුන්චි හීන සබෑ කර ගත්ත කීපදෙනෙක්ව ඔය අතරෙදි මැණික්ට මතක් උනා.අපිට අමතක වෙච්ච අපි කතා නොකරන මේ චරිත ගැන පොඩි සටහනක් තියන්න ඔනේ කියලා හිතුනා.

අහලා තියෙනවද අඟුණුගහ ගමගේ හින්නි අප්පුහාමි ගැන.....
හිනා වෙන්න නෙමෙයි ඇත්තටමයි අහන්නේ.... යන්තම් හරි කන වැටිලා තියෙනවද.... ටිකක් නුහුරුයි වගේ නේද...කමක් නෑ....
මැලිබන් නම අහලා තියෙනවාද...නම කියන කොට රහත් මතක් වෙනවා ඇති සමහර අයට නම්.
දැනට අවුරුදු 75-80කට විතර උඩදි තේ කඩයකින් පටන් අරන් අර රත්මලානේ තියෙන මහා ෆැක්ටරිය හදලා ලන්කාවට මුලින්ම ලංකාවෙ බිස්කට් කන්න පුරුදු කලේ හින්නි අප්පුහාමි මහත්තයා.
ගාල්ලේ අක්මීමනින් ආපු හින්නි අප්පුහාමි මහත්තයා කොළඹ කොටුවෙ පළවෙනි හරස්වීදියේ පුන්චි තේ කඩයකින් තමයි පළමු පියවර තියලා තියෙන්නේ. කොහොමහරි පිටරටින් මැශින් ගෙන්නලා ඔය රත්මලානේ මැලිබන් ෆැක්ටරිය දාලා තියෙන්නේ 1963දිලු.ඒ වෙනකම් පොඩියට තමයි ව්යාපාරේ පවත්වාගෙන ගිහින් තියෙන්නේ. මම අහලා තියෙන විදියට බිස්කට් කියන්නේ ඒ කාලේ “luxury good” එකක්. රට බිස්කට් විතරක් ලංකාවෙ තිබිච්චි යුගයක,ලංකාවෙ බාගයක් විතර මිනිස්සු බිස්කට් කියන්නේ මොනවාද කියලා හරියට දැනගෙන තිබ්බෙ නැති යුගයක බිස්කට් ෆැක්ටරියක් දාන්න හින්නි අප්පුහාමිට කොයිතරම් නම් හිතේ හයියක් තියෙන්න ඇතිද? ඒකාලේ හින්නි අප්පුහාමිට නම් අපිට වගේ ව්යාපාර පරිපාලනය කියලා දෙන්න මයිකල් පොර්ටර් ලා, ඇන්සොෆ් ලා, මෙන්ඩලොව් ලා එකී මෙකී නොයෙක් අය නම් හිටියේ නැතුව ඇති. ....

එතකොට වික්ටර් හෙට්ටිගොඩ මහත්තයා ගැන අහලා තියෙනවාද? හෙට්ටිගොඩ සමූහ ව්යාපාරය ආරම්භ කලේ එතුමා තමයි. වෙන කවුරුත් නෙමෙයි අපේ සිද්ධාලේප වෙද මහත්තයා තමයි ඒ. 1937 මාතර කනංකේදී උපත ලැබු මෙතුමා කාලයක් රාජ්ය සේවයේ නියුතු වෙලා ඉඳලා ඒකෙන් අස් වෙලා තමන්ට පාරම්පරිකව ලැබුණු වට්ටෝරුවක් මාර්ගයෙන් බොහොම දුක් මහන්සියෙන් තමයි මේ තරමට දියුණු වෙලා තියෙන්නේ. මම අහලා තියෙන විදියට ඔය සිද්ධාලේප බාම් කුප්පියකට මුල් කාලයේ සත5ක විතර ලාබයක් තියාගෙන තමයි විකුණලා තියෙන්නේ. බොහොම මුදල් අමාරුකම් මැද්දේ ආරම්භකරපු මේ ව්යාපාරය ප්රචලිත කරන්න හෙට්ටිගොඩ මහත්තයා ගමක් ගමක් ගානේ ගියා කියලා තමයි කියන්නේ. හෙට්ටිගොඩ මහත්තයාට කොයිතරම් නම් ධෛර්යයක් තියෙන්න ඕනේද ඔය ගමන අතරමැද නතර නොකර අද තියෙන තත්වයට නංවන්න. අපි නම් කරයිද. හිත ඇත්නම් පත කුඩාද....

එච්. කේ. ධර්මදාස මහත්තයා ගැන අහලා තියෙනවාද, නවලෝක මුදලාලි කිව්වොත් නම් කවුරුත් දන්නවා ඇති. යන්තම් පහේ පන්තිය පාස් වෙලා හිටපු කළු මහත්තයා (නවලෝක මුදලාලිට ගමේ කට්ටිය කතා කරන්නේ ඒ නමින්ලු )තම පියාගේ මරණයෙන් පස්සේ ඇදුම් කැඩුම් ටිකක් අරගෙන කොළඹට එනකොට සන්ත්කේටම තිබිලා තියෙන්නේ රුපියලයි. ඒත් අද.....

ඒ වගේම උපාලි විජේවර්ධන මහත්මයාත් අකාලයේ සමුගත්ත අපේ රටට අහිමි වෙච්චි, සෑහෙන දුර ගමනක් යන්න තිබිච්චි ව්යාපාරිකයෙක්. රටේ අවාසනාවට වෙන්න ඇති එතුමා ජීවිතයෙන් සමු ගන්න ඇත්තේ.එතුමා ජීවත්ව හිටියා නම් අපේ රටේ කාර් එකක් හදන්නේ මීට ගොඩාක් කලින්. යුනික් රේඩියෝ හැදිල්ලත් එතනම නැවතුනා.අදටත් උපාලි සමූහ ව්යාපාරය තියෙනවා නමුත් එතුමා හිටියා නම් එම ව්යාපාරය මීට වඩා ලොකු පෙරලියක් රටේ ඇති කරාවි කියලයි මට නම් හිතෙන්නේ.
අපේ රටේ ආර්ථිකය විවෘත කරපු ගමන් එතුමා පටන් අරගත්තු දේවල් ඒ විදියට දියුණු කරගෙන ආවානම් අපේ රටත් අද සෑහෙන ඉස්සරහයින් ඉන්න තිබුනා කියලා මැණික්ට හිතෙනවා.

එතකොට රවි ලියනගේ මහත්තයාව අඳුනන්නේ කවුද.... නම කිව්වට නිච්චියක් නෑ නේද... හැබයි රයිගම් කියන නම නම් අහලා ඇති නේද....එදා පුන්චියට සෝයා නිපදවන්න පටන් අරගත්තු ව්යාපාරය අද ලන්කාවෙ ප්රධාන පාරිභොගික භාණ්ඩයක්.

කොළඹ ඩික්මන් පාරේ පුන්චි ඇදුම් කඩයකින් පටන් අරන් පහුගිය සතියක කොළඹ කොටස් වෙළඳ පොළට ඇතුලත් කරපු ඔඩෙල් ආයතනය අරඹපු ඔටාරා ගුණවර්ධන මහත්මිය, මයික්රො කාර් සමාගම අරඹපු ලෝරන්ස් පෙරේරා මහත්තයා,ඒ වගේම හැරි ජයවර්ධන, කෙන් බාලෙන්ද්ර, අශෝක් පතිරගේ, වැනි ව්යාපරිකයින් පුන්චි සිහින සැබෑවන් කරපු වීරයො කියලයි මට හිතෙන්නේ.

ඔය ඉහළින් ලියලා තියෙන්නේ මේ වෙලාවේ හැටියට මගේ මතකයට ආපු සාර්ථක ව්යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් විතරයි. ඔවුන්ගේ ජීවිත වලින් අරගන්න කොයිතරම් නම් දේවල් ඇතිද, ඒත් ඒගැන කතා කෙරෙන අවස්ථා නම් බොහොම අඩුයි.

මේක ලියන අතරේ උසස් පෙළ ලියන කාලේ අපේ රසායන විද්යා ගුරුතුමා, බුළත්සින්හල සර් කියපු කතාවක් මතක් උනා.ඒ දවස් වල යුද්දේ පැවතිච්ච කාලේ, එතුමා කිව්වා උතුරේ ඉන්න ළමයි හරියට අධ්යාපනයක්වත් නැතුව ඩයිනමයිට් ටිකක්, වීදුරු කෑළි යකඩ ඇණ ටිකක් අරගෙන බොම්බ හදනකොට උ.පෙළට අවුරුදු දෙකක් රසායන විද්යාව කරපු කොළඹ ළමයින්ට අඩු ගානේ පත්තු කරන්න ගිනිකූරක්වත් හදා ගන්න බෑ කියලා.

අද කොච්චර නම් තරුණ උපාධිදාරී ළමයි රස්සාවල් ඉල්ල ඉල්ලා පාරවල් වල කෑ ගගහා උද්ඝෝශණ කරනවාද. අවුරුදු දහ තුනක් ඉස්කෝලෙ ගිහිල්ලා සා. පෙළ, උ. පෙළ පාස් වෙලා, ඉස්කෝලේ යන දහස් ගානක් ළමයි අතරෙන් පෙරිලා වගේ කොටසක් තමයි කැම්පස් එකට යන්නේ. ඊට පස්සේ ඒක ඉවර වෙලා රස්සාවල් හොයනවා, හොයාගන්න පුලුවන් එක්කෙනා යනවා අනික් අය කාලෙන් කාලේට උද්ඝෝශණ.
අපේ අධ්යපන ක්රමයේත් වැරදි නැතුවම නොවෙයි, මොකද ගිරා පැටව් ටිකක්නේ එලියට එන්නේ, ඉතින් අලුත් සිතිවිලි ඇති වෙන්නේ කොහොමද.

මැණික්ට හිතෙන විදියට නම් පුන්චි හරි අදහසක් හරියට ක්රියාත්මක කලොත් ඔය රැකියා ප්රශ්නෙත් විසඳන්න පුලුවන් කියලයි. නිකමට හිතලා බලන්න පහේ පන්තිය පාස් වෙලා කොළඹට ඇවිල්ලා ව්යාපාරයක් දාපු නවලෝක මුදලාලි නිසා ඔය උපාධිලාභියො කී දෙනෙක් ජීවිතය ගටගහගන්නවාද කියලා....
ජීවිතය දිනන්න නම් කරන්න දේවල් කොයිතරම් නම් තියෙනවාද, අවශ්ය වෙන්නේ පුන්චි සිතිවිල්ලක්, පුන්චි උත්සාහයක් සහ හොඳ හයිය හිතක් විතරයි.

7 comments:

  1. අනිවාර්යයෙන්ම..උත්සාහවන්තයා ජය ගනී කියලා එදා ඉදලම කියන්නේ නිකම් නෙවෙයි.අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරගත්තොත් සෑහෙන්න තැනකට අපිට එන්න පුලුවන්.

    ReplyDelete
  2. ඇත්ත. :) ඒ උනාට ආරම්භක උත්සාහය ගන්නෙ ටික දෙනයි.

    ඒයි.. මමත් ඉන්නවා දිරි ගන්නන ලැයිස්තුවෙ :) ඔයා කිව්වෙ නෑ නෙ

    වික්ටර් හෙට්ටිගොඩ එක්ක සිද්ධාලේප කුප්පි පටවගෙන, විකුණගන්න කෝච්චි ගානෙ ගිය uncle කෙනෙක් මම දන්නවා. එයා දැන් ඒ කොම්පැණියෙ ලොකු මැනේජර් කෙනෙක්.

    ReplyDelete
  3. උත්සාහාන්තකමටත් වඩා කැපකිරීම් හිඳයි ඔවුන් සාර්ථක....හැබැයි බොහොමයක් සාර්ථක යැයි අප හිතන් මිනිසුන්ගේ ජීවිත ඇත්තටම සාර්ථකද?...සමබරද?...ඒකත් සිතිය යුතුයි...මොකද....යමක් ලබාගන්නට යමක් නැති කරගත යුතුමයි.....

    ReplyDelete
  4. හිතන්න දෙයක් දුන්න ඔබට සුභපැතුම්. මම මේ වෙලාව වෙනකන්ම මගේ හිත එක්ක වාද කරකර හිටියෙ මගේ ව්‍යාපාර සිහිනය ගැන. ඔබගේ ලිපිය සාර්ථක තීරණයක් ඉක්මනින්ම ගැනීමට මා දිරිගැන්වූවා. දිගටම ලියන්න.

    ReplyDelete
  5. @sameeramls:ඒක ඇත්ත. මමත් ඔයාගේ පැත්තේ
    @ස්වප්නා:කිව්වේ නැති උනාට හිතේ තියෙනවානේ....මං දන්නවානේ... හෙට්ටිගොඩ මහත්තයා එහෙනම් හොඳට කළ ගුණ සලකන මහත්තයෙක්...
    Shadow/හේමලයා:උත්සහයයි කැපවීමයි දෙකම ඕනේ කියලයි මට හිතෙන්නේ. දේවල් ලබා ගන්න කැපකිරීම් කරන්න වෙනවා. අපි හැමෝම ප්‍රසිද්ධ උනත් නැති උනත්, සාර්ථක ව්‍යාපාරිකයන් උනත් නැති උනත්, ලොකු පොඩි වශයෙන් ජීවිතයේ දේවල් කැප කරනවා කියලයි මම නම් හිතන්නේ.
    සාගර:ස්තූතියි, ඔබටත් සුබ පැතුම්. අහන්නත් සංතෝසයි

    ReplyDelete
  6. මේ පෝස්ට් එක ලියවුන දවසින් අවුරුදු එක හමාරකට විතර පස්සෙ මේ බ්ලොග් එකට ගොඩ වදින්න ලැබුනෙ උපාලි විජේවර්ධන කියල ගූගල් සර්ච් එකක් කලාම. ඒ මහත්තය ගැන විතරක් නෙමෙයි තව සෑහෙන්න විස්තර දැනගත්ත.සමහර විට මේ බ්ලොග් එක ලියපු රචකයට මේ බ්ලොග් එක අමතක වෙලත් ඇති.කෙනෙක්ට කියවල සෑහෙන දෙයක් ගන්න පුලුවන් බ්ලොග් එකක්.අපරාදෙ...

    ReplyDelete