Powered By Blogger

6/20/2010

අපේ කළු


පෙරේදා අම්මාත් එක්ක කතා කලා. හපොයි..... ගෙදර හරිම යුද්ධයක්.ඔක්කොටම මුල අපේ කළු...

ඔක්කොටම කලින් කියල ඉන්නම්කො කළු කියන්නෙ කවුද කියලා,කොහොමද අපේ ගෙදරට ආවෙ, එයාගෙ වැඩ කිඩ ටිකකුත් කතාවෙ පසුබිම හදන්න. දැන් ටික කාලෙකට කලින් අපේ ගෙදරට අලුත් අමුත්තෙක් එකතුවුනා ඒ තමයි පුන්චි හුරතල් වහු පටියෙක්. අපි අදුනන මාමා කෙනෙකුට භාරයක් වෙනුවෙන් හරකෙක් නිදහස් කරන්න උවමනා වෙලා. ඉතින් ඒ මාමා අදුරන කෙනෙක් මාර්ගයෙන් තැනක් හොයගෙන සල්ලිත් ලස්ති කරගෙන මරනෙට කැප ඉන්න හරක් ගාල් කරල තියෙන තැනකට ගිහිල්ලා.ඉතින් මෙතන මරන්න ගෙනියන්න ඔන්න මෙන්න ඉන්න අම්මෙකුයි පටියෙකුයි දැකල. මේක දැකල ඒ මාමාගෙ පපුව හෝස් ගාලා පත්තු වෙලා "මේ අම්මයි පැටියයි නිදහස් කරන්න කීයකට දෙනවද?" කියල අහල. ඒත් එතන හිටපු හිතක් පපුවක් නැති මනුස්සය කියපු ගාන මාමා ළග තිබ්බ ගානට වඩා හුගාක් වැඩියිලු. ඉතින් මාමා කල්පනා කරල කමක් නෑ මම අඩු ගානේ මේ පැටියවවත් බේරගෙන නිදහස් කරනවා කියල.අන්තිමේදි ගනන් හිලව් බේරුම් කරගෙන වහු පැටිය එළියට අරගෙන එනකොට පැටියගෙ අම්මා කදුළු පුරවගෙන බලාගෙන හිටියලු.උඹව නිදහස් කරගන්න මට බැරි උනාට මට සමා වෙයන් කිරි අම්මේ කියල, වහු පැටියව අරගෙන මාමා ඇවිල්ල තියෙන්නෙ බොහොම අමාරුවෙන් හිත හදාගෙන.

මාමාට මේ පැටියව බලා ගන්න කවුරුත් නැති නිසාත්, ඒ මාමාගෙ ගෙදර වහු පැටියෙක් හදන්න ඉඩකඩ නැති නිසාත් ඌ අපේ ගෙදරට අරගන්න මාමා අම්මලාව කමති කරගත්තා.අපිටත් හරිම සතුටුයි. ඉතින් අපේ ගෙදරට පිටිපස්සෙ ගෙදර ඉන්න ලාල් මාමට තමයි ඌව අපේ ගෙදරට අරගෙන එන්න භාර උනේ. මොකද මුල දවස්වල ඌ හිටියෙ අර මන් මුලින් කියපු මාමලාගෙ ගෙදර. කළු පොඩි කාලෙ ඉදලම හරිම දඩබ්බරයි. මූව පාර දිගේ දක්කගෙන එනකොට ලාල් මාමට මූ හොද රැග් එකක් දීලා; පාර පුරාම දුවල, වාහන වලට පැනල, අහළ පහළ පාරවල් දිගෙයි, ගෙවල් වලටයි පනින්න හදල ජරමර ගොඩයි. සමහර විට කළුව මරන්න අරගෙන යනකොට කරපු කරදර නිසාද දන්නෙ නෑ අදටත් නුහුරු හැඩි දැඩි පිරිමියෙක් දැක්කම හරියට කලබල කරනවා.

කොහොමින් කොහොම හරි අන්තිමට කළු අපේ ගෙදරට ආවා. ඒ දවස් වල අපේ ගෙදර හිටපු බැල්ලියෙක් පැටව් දාල සති 10-15 වෙච්ච බලු පැටව් පස් හය දෙනෙකුත් හිටිය. කළු ආව විතරයි බලු බැටෑලියන් එකම කළුව වට කරගෙන එක විගඩම‍යි. කළුටත් ඉතින් අයෙ මොනාද පාර පුරා හරඹ කරල මහන්සි උනත් බලු බැටෑලියන් එකත් එක්කත් වලියටයි සූදානම.උඩ පනිනවා, අනින්න වගේ හදනවා ඔක්කොම එයාගෙ වැඩ කෑලි ටික පෙන්නුවා.බලු පටවුන්ගෙයි උන්ගෙ අම්මාගෙයිත් මුලු සිස්ටම් එකම අවුල් වෙලා මේ කොහෙන් පාත් වෙච්ච එකෙක්ද කියල බලනවා.බුරනවා, ඉව කරනවා කළුගෙ නැට්ටත් එක්ක සෙල්ලම් කරනවා වැඩ ගොඩයි.

මුලින්ම ඌට නමක් තිබ්බෙ නෑ, මොකද අපි උනත් මූව දැකල තිබ්බෙ නෑනෙ මීට කලින්. අන්තිමට ඔක්කොම නාම යෝජනා අතරෙන් කළු කියලා ඌට නම තියන්න තීරණය උනා. ඒ නම කොච්චර හොදට ගැලපුනාද කියනව නම් ඌගෙ ඇගේ වෙනපාටක එක මයිලක්වත් තිබ්බෙ නෑ, කොටින්ම කියනව නම් උගෙ දිවත් කළුම කළුයි.ඔන්න ඔහොමයි කළුගෙ වසස්ථානය අපේ ගෙදර උනේ.

දැන් ඉතින් කළුට රෑට ඉන්නත් තැනක් ඕනේනේ, අපේ ගෙදර හරක් මඩුවක් තිබ්බත් ඒකේ හිටපු වයසක වැස්සිට කළුව දිරවන්නෙ නෑ වගෙයි. අන්තිමට අපේ ගෙදර පිටිපස්සෙ මුරුගේසුගෙ කාමරේ ළඟ තියෙන ඉස්තෝප්පු කෑල්ලෙ කනුවක ගැටගහල තියන්න කතා උනා.{මුරුගේසු කියන්නෙ අපේ දුකට සැපට සනී,අපේ ගෙදරයි වත්තයි බලාගෙන නවතිල ඉන්න සීයා, දෙමළ මනුස්සයෙක් අවිස්සවෙල්ල පැත්තෙ වත්තක ඉඳලා තමයි අපේ ගෙදරට ආවෙ} ඉතින් දවසම උගේ දුක සැප බලලා රෑ ඌව කතා කරගත්ත තැන ගැට ගහල අපි අපේ වැඩ කරගෙන ගේ අතුලෙ හිටියා.

ඉතින් රෑ බෝ උනාම ගෙදර වටේට අස්ස පැටියෙක් දුවනව වගේ සද්දයක් මුලින්ම අහෙනවා, ඊට පස්සෙ හති දාගෙන තවත් කවුරු කවුරු හරි පස්සෙන් යනවා, යනවා කිව්වාට දුවනව. මොකක්ද ප්‍රශ්නෙ කියල බැලුවම වෙන කවුද ඉතින් අපේ කළු කඹේ කඩාගෙන. ඒ මදිවට බලු මල්ලිලා හපොයි...... එකෙක්වත් අල්ලනව තියා හිතන්නවත් බෑ ඒ තරමට විසේ.මොනව කරන්නද ඔහෙ ඉන්න දීල අපි ගියා නිදා ගන්න, කොහොම නැටුවත් වත්ත අතුලෙනෙ එලියට යන්න විදියක් නෑනෙ.කොහොම හරි පාන්දර වෙනකම් අපිට නින්දක් නෑ, කට්ටියම අල්ලන සෙල්ලමක්ද කොහෙද.අන්තිමේදි උදේම නගිටල බලන කොට මුලු මිදුලම කලුගෙ අඩි පාරවල්.මුලු මිදුලම එකම මඩ ගොඩක්, ඒ විතරක් නම් මදැයි බාලිදි පෙරලලා, මල් පෝච්චි බිඳලා අම්මාටත් ටිකක් විතර කේන්ති ගිහිල්ලා. ඒත් කළු නෑ.ටිකක් හොයලා බැලුවම මේයා බලු අම්මාටයි පැටව් ටිකටයි තුරුල් වෙලා හොඳටම නිදි.

ඔය විදියට අපේ කළු නිදහසේ කාලයක් හිටියා, ඒත් මෙයාගෙ දඟ වඩ එන්න එන්නම වැඩි උන නිසා පස්සෙ කාලෙක, ටිකක් ලොකු උනාම ගැට ගහලා තියන්න සිද්ධ උනා.මෙයාව ගහෙන් ගහට මාරු කරන්න, වතුර ගෙනිහින් දෙන්න ලෙඩ උනාම බලාගත්තෙ මුරුගේසු. මේ සීයා දණ්ඩ නීති සංග්‍රහය දාලා තමයි මෙයාව ආම්බාන් කර ගන්නෙ. ඒත් අපිව නම් තඹේකට මයිම් කරන්නෙ නෑ. අපි කඹේ අල්ලුවොත් කඩාගෙන යන්න දඟලයි, එක්කො අපිව බය කරන්න ඔලුව වටයක් දෙකක් කරකවල හතර අතට පිඹ්යි, එහෙමත් නැත් නම් වතුර බොන්න දීපු වෙලාවක නම් හොම්බෙ තියෙන වතුර ටිකෙන් වටේම කට්ටිය තෙමෙන විදියට ඔලුව හොලවයි. සාමාන්‍යයෙන් වහු පටියාගෙ අම්මා ඉන්නවා නම් පැටියට කාටවත් කිට්ටු වෙන්න දෙන්නෙ නෑනෙ. ඒත් කළුගෙ අම්ම නැති නිසයි පොඩි කාලෙදිම අපේ ගෙදරට ආපු නිසයි ඔය විදියට හරිම හුරතලේට කළු අපේ ගෙදර ලොකු මහත් උනා, දැන් ඌ නඹර වැස්සියෙක්.

ඔන්න ඉතින් ලියන්න ගිය කතාව නෙමෙයි අන්තිමට කළු අපේ ගෙදරට ආපු හැටි කියන්න ගිහිල්ල පිටුවක් විතරම ගියා, වෙලාවත් සෑහෙන්න ගත උනා. ඒක නිසා මෙදා පාර අපේ කළු කරල තියෙන දඟ වැඩේ ඊළඟ ලිපියට එකතු කරන්නම්.

No comments:

Post a Comment