Powered By Blogger

7/05/2010

හදමුද රහ කෑමක්......

අපේ ගෙදර කවුරුත් නෑ, හරිම පාළුයි, නිකම් ඉන්න එකේ කෑමක් හදන්න හිතුනා පාලුව යන්නත් එක්ක. කෑම එක හදන ගමන් පින්තූර ටිකකුත් ගත්තා හදන්න කැමති අයට බලාගන්නත් එක්ක.මේක පොතේ හැටියට හදපු කෑමක් නෙමෙයි. පොතේ විදියට ගෙදර තියෙන ජාති වලින් තියෙන හැටියට හදාපු කෑමක්.....හදලා ඉවර වෙලා කාලා බලලත් ඉවරයි. කිසිම අගුනයක් නම් නෑ.... හික් හික් හික්....


කිසිම හොර බොරුවක් නෑ ඔය උඩින් පින්තූරෙ තියෙන විදියට තමයි හැදුවෙ.

අද හදපු කෑම එක තමයි sweet and sour දැල්ලො කරි එකක්. ඔන්න ඉතින් වැඩි කතා නැතුව මං හදපු විදිය කියන්නම්කො.
ඉස්සෙල්ලාම දැල්ලො 250ග්‍රෑම් (දැල්ලො 4-5 විතර )අරගෙන සුද්ද කරල ගත්තා.ඊට පස්සේ දැල්ලො ටික පින්තූරෙ නොම්බර 1තියෙන විදියටකපා ගත්තා.ඉස්සෙල්ලම දැල්ලා මැදින් පලලා ඊට පස්සෙ හතරට කැපුවා.ඒ කියන්නේ එක දැල්ලෙක්ගෙන් කෑලි 4ක් කැපුවා.

පින්තූරෙ නොම්බර 2 තියෙන විදියට පිහියකින් කතිර තියෙන විදියට යන්තම් පලා ගත්තා, එතකොට අර චයිනීස් කඩ වල තියෙනව වගේ ලස්සනට පේනවා උයලා ඉවර උනාම.

ඊට පස්සෙ මේ කෑලි ටික භාජනයකල දාලා, විනාකිරි මේස හැඳි 2, කහ කුඩු, ලුණු කුඩු,ගම්මිරිස් කුඩු ටික ටික දාලා කවලම් කරලා පැත්තකින් තිබ්බා.(පින්තූරෙ නොම්බර 4 තියෙන විදියට)

ඊට පස්සෙ පොඩි රට ළුෑණු ගෙඩි 3, කැරට් අලයක්,ළුෑණු ගස් 2,(අපේ ගෙදර තිබ්බෙ ඔය කෑලි දෙක විතරයි.)නැත්නම් ලීක්ස් උනත් කමක් නෑ; කිට්ටු කර ගත්තා .අහ්හ්... තව තක්කලි කෑලි ටිකකුත් ඔනේ. (පින්තූරෙ නොම්බර 5 තියෙන විදියට) ඔය ජාති ටිකෙන් අහුරකට අල්ලන ප්‍රමාණෙට කෑළි කපලා අර ගන්න. මං නම් ළුෑණු ගෙඩි ටික හතරට පලලා, කැරට් රවුමට පෙති කපලා,ළුෑණු ගස් ටික ඇදේට කපලා තක්කලි ටික කොටු කැපුවා,. ඒකෙ පින්තූරයක් නම් ගන්න අමතක උනා.

මීට අමතරව සුදු ළුෑනු බික් 2-3 ඉඟුරු කැල්ලක් හොඳට පොඩි වෙන්න තලා ගන්න.(පින්තූරෙ නොම්බර 6 තියෙන විදියට)භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3-4 දාලා(පින්තූරෙ නොම්බර 7), තෙල් ටික රත් උනාම කලින් පැත්තකින් තිබ්බ දැල්ලො ටික වතුර බේරලා තෙලට දාන්න. දැල්ලො ටික ඔය විදියට හෙමිහිට තැම්බෙන්න තියන්න, සැරින් සැරේ පොඩ්ඩක් කවලම් කරන්න නැත්නම් අඩිය අල්ලන්න බලයි, ඔහොම විනාඩි 4-5 යනකොට තලා ගත්ත ඉඟුරු සුදු ළුෑණු ටිකත් තෙලට දාන්න(පින්තූරෙ නොම්බර 8). සෝය සෝස් තියනවා නම් ටිකකුත් දාන්න(නොම්බර 9).එතකොට රස වැඩියි.තව තලාපු එනසාල් ඇටයකුයි කරාබු නැටි 1 දැම්මොත් හොඳ රසයකුයි සුවඳකුයි එයි. ඔය ඔක්කොම ටිකක් තෙම්පරාදු වෙන්න තියන්න විනාඩි 2ක් විතර. දැන් මේ වෙනකොට දැල්ලො ටික තැම්බිලා තියෙන්න ඕනේ(විනාඩි 6-7 කට පස්සේ).

දැන් මේකට අර කලින් කපා ගත්ත එළවළු ටික එකතු කරලා වතුර අඬු කොප්ප 1ක් දාන්න(නොම්බර 11). තක්කලි සෝස් මේස හැඳි 4-5, මිරිස් කුඩු තේ හැඳි 1/2 කවලම් කරන්න. කලින් දැල්ලො තිබ්බ බාජනේ තියෙන විනාකිරි ඉස්ම ටිකත් මේකටම දාන්න.ඊට පස්සෙ වතුර නටන කම් වහලා තියන්න. මේ අතරතුරේ කෝන් ෆ්ලොවර් පිටි මේස හැන්දක් ඇල් වතුර ටිකකින් දිය කර ගන්න(නොම්බර 10). වතුර නටනකොට මේකත් එකතු කරලා හොඳට හැඳි ගාන්න(නොම්බර 12). මතක ඇතුව දැන් ගින්දර අඩු කරන්න.
ලුණු රස ඇතිද කියලා බලන්න අමතක කරන්න එපා. සැර මදි නම් ගම්මිරිස් හරි මිරිස් කුඩු ටිකක් හරි එකතු කර ගන්න. සීනි මේස හැදි 2ක් දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න(නොම්බර 13). කොත්තමල්ලි කොළ ටිකක් තියෙනවා නම් හීනියට ලියලා උඩින් ඉහින්න(නොම්බර 14). දැන් ඉතින් කෑම ලෑස්තියි.දෙතුන් දෙනෙක්ට මේක හොඳට සෑහෙනවා.
මතක ඇතුව දැන් කුස්සියත් අස් කරන්න, ගත්ත බඩු ටික තිබ්බ තැන් වලින් තියලා පාවිච්චි කරපු බාජන ටිකත්හොඳට හේඩුවොත් හොඳයි.බාජනෙත් හොඳට වහලා තියන්න සතෙක්වත් වැටුනොත් එහෙම.(නොම්බර 15)
හප්පේ.. මං හදපු එකේ සුවඳ නිසා දෙවෙනි පාරටත් දවල්ට කෑවා... හික් හික් හික්....
මගේ රස පරීක්ෂක තුමා වැඩට ගිහිල්ලානේ , එනකොට හවස් වෙනවා. රෑ කෑමට දීලා ලකුණු දාගන්න ඔනේ....

මේක හදලා බැලුවොත් ගුණ දොස් එහෙම කියන්නකෝ.
ගෙදර ගිහින් අම්මට,wifeට කියල හදා ගන්න print out එකක් අර ගත්තට අමනාපයක් එහෙම නෑ....

6 comments:

  1. niyamai ela ada meka kanawa

    ReplyDelete
  2. හරි හරි හදලා බලලා ගුණ දොස් කියන්නකෝ, මට නම් රස පරීක්ෂකගෙන් ලකුණු ගොඩයි. ඔක්කොම කාලත් ඉවරයි. හික් හික් හික්....

    ReplyDelete
  3. අහ්, මැණික් දක්සයා වගේ..
    :)

    ReplyDelete
  4. දස්සයි දස්සයි..... කන්නයි කෑම හදන්නයි දෙකටම දස්සයි.....

    ReplyDelete
  5. කටට කෙලත් ඉනුවා

    ReplyDelete